එංගලන්ත ක්‍රීඩකයින් රැඳී සිටින හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ්

Covid-19
By Thaya Jan 16, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන්ගත් ගාල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

අද (15) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර කොවිඩ් ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීම හේතුවෙන් ගාල්ල, නෙළුව නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට පියවරගත් බව නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.අයි.ජී සුනිල් මහතා පවසයි.

"මේ දිනවල නෙළුව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ අවදානම වැඩියි. ඒ නිසා අපි මේ තීරණය ගත්තේ. සියලු වෙළෙඳසැල් හිමියන් කැමැත්තෙන්ම මෙම තීරණයට එකඟ වුණා," යනුවෙන් ඔහු එහිදී පැවසීය.

ගතවූ දින 08ක කාලය තුළ වව්නියාව පට්ටනිචූර් ගම්මානයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 151 දෙනෙකු හදුනාගෙන තිබේ.

මේ අතර පාසල් ගුරුවරියකගේ ස්වාමිපුරුෂයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් වලස්මුල්ල ජාතික පාසලට අද දිනයේ ළමුන් ඇතුළත් කර නොගත් බව එහි විදුහල්පති එස්.ඒ ගුණපාල මහතා පැවසීය.

හෝමාගම, මීගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව සමග කටයුතු කළ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවරගත් බව මීගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ.එච් ජගත් කුමාර මහතා පැවසීය.