නිවසක එක්තැන්ව සිට මියගිය පුද්ගලයාට කොවිඩ්

Covid-19
By Thaya Feb 02, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

දඹුල්ල මහනගර සභා බලප්‍රදේශය තුළ සිදුවූ පළමු කොවිඩ් මරණය ඊයේ (01) වාර්තා වී තිබුණි. එළෙස කොවිඩ් වෛරසය ශරීරගත වීමෙන් මියගොස් ඇත්තේ දඹුල්ල කුරුණෑගල මාර්ගයේ පදිංචි 72 හැවිරිදි දෙදරු පියෙකි. වසර ගණනාවක් තිස්සේ අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවසේ රැඳී සිටී ඔහුව පසුගිය 29වන දින අසනීප තත්ත්වය උග්‍රවීම හේතුවෙන් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබුණි.

ඔහු මියයෑමෙන් පසුව සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඩ් -19 වෛරසය ශරීරගත වී ඇති බව වෛද්‍යවරු සනාථ කළ බව ඥාතීන් පවසා තිබේ. මියගිය පුද්ගලයාගේ දියණියන් දෙදෙනාම දඹුල්ල රෝහලේ හෙදියන් ය. පවුලේ කිසිදු අයෙකුට වෛරසය ශරීරගත වී නොමැති බවද සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

නිවසේ වසර ගණනාවක් එක්තැන්ව අසනීප වී සිටි තම ඥාතියා මියයෑමෙන් පසු කොවිඩ් වෛරසය ශරීරගත වූයේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් පවතින බව ඥාතීන් ආදාහනාගාරයේ දී හඬාවැටෙමින් පැවසීය.

මේ සම්බන්ධව දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම පවුලේ කිසිදු අයෙකු වෛරසය ශරීරගත වූ බවට තමාට වාර්තා වී නොමැති බවය.

මියගිය පුද්ගලයාට පමණක් වෛරසය ශරීරගතවී තිබූ බවට දැනුම් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.