කොවිඩ් රෝගීන් හමුවීමෙන් පසු ඇඟලුම් ආයතනයක් වසා දමයි
මාතලේ නාඋල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ්-19 ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගැනීමත් සමග එම ඇඟලුම් ආයතනය තාවකාලිකව වසාදැමූ බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළහ.
PCR පරීක්ෂණ 300ක් පමණ සිදුකර එම ආසාදිතයින් හඳුනාගෙන ඇත.
මේ අතර හැටන් නගරයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ සිටි සිසුවියන් 20 දෙනෙකු, කන්‍යා සොයුරියන් දෙදෙනෙකු සහ සේවිකාවන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
ඒ, නේවාසිකාගාරයේ සිටි මොරටුව සහ මට්ටක්කුලිය පදිංචි සිසුවියන් දෙදෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් බව අප වාර්තාකරු පැවසීය.
එම සිසුවියන් දෙදෙනා අතරින් එක් අයෙකු මීට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී සුවවූ අයෙකු බවද වාර්තා වේ.
මේ අතර, ස්වයං නිරෝධායනයට යොමුකර සිටි දික්ඔය මූලික රෝහලේ හෙදියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
අවස්ථා කිහිපයදී රෝගීන් ලෙස රෝහලට පැමිණි කිහිපදෙනෙකුම ආසාදිතයින් ලෙස වාර්තාවීමත් සමග රෝහලේ කාර්ය මණ්ඩලයේ 40කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.
තවදුරටත් රෝහල් කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර සිටින බව වාර්තා වේ.