එක් ප්‍රදේශයක විනෝද චාරිකාවක් ගිය විශාල පිරිසකට කොවිඩ් ඒ ප්‍රදේශයත් අනතුරේ
බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ (02) දිනයේ වාර්තා විය. එම ආසාදිතයින් පදිංචිව සිටින්නේ ආඳාදොළ ශ්‍රීපති මාවත, රන්දොඹේ සහ කොස්ගොඩ යන ප්‍රදේශවලය. ඉන් පිරිසක් මාතර වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙක්ද සම්බන්ධ කරගනිමින් පසුගියදා විනෝද චාරිකාවක් ගොස් ඇත. පසුව අනාවරණය වී ඇත්තේ වැලිගම පදිංචිකරු කොවිඩ් ආසාදිතයෙක් බවය.
ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් හඳුනාගැනුණු අතර ඔවුන් ඊයේ රාත්‍රීයේදී කරන්දෙනිය සහ පොල්වත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකෙරුණි. එමෙන්ම නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බලප්‍රදේශයෙන් ඊයේ කොවිඩ් -19 ආසාදිතයින් 14දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලුදෙනාම පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඔවුන්ද ඊයේ පස්වරුවේ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබුණි.
මේ අතර රිදීමාලියද්ද ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. පසුගිය දින දෙක තුළ සිදුකළ PCR පරික්ෂණ 325කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව එම මධ්‍යස්ථානය පැවසුවේය. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂන් ද සිල්වා මහතාට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබේ.
සභාපතිවරයා පැවසුවේ, මේ වනවිට තමන් අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය. මේ හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ