ජොන්ස්ටන් නිදහස් වෙද්දි අනුරගේ පෙත්සම විභාගයට ගයි
දේශපාලන පලිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශ බලරහිත කරන ලෙසට ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගොනු කළ රිට් පෙත්සම මාර්තු මස 30 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ, එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. දේශපාලන පලිගැනීම් පිළිබද කොමිෂන් සභාවේ නිර්දේශ මගින් තමා වග උත්තරකරුවෙකු ලෙසට නම් කර තමාට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීමට නිර්දේශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය පෙත්සමේ දක්වා තිබෙනවා.
ඒ තුලින් තම අයිතිවාසිකම් එම කොමිෂන් සභාව විසින් උල්ලංඝනය කර ඇති බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ. ඒ අනුව තමා සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව කර ඇති නිර්දේශ අත් හිටුවීමට රිට් නියෝගයක් නිකුත් කරන ලෙසටයි ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, දේශපාලන පලිගැනීම් පිළිබද සොයාබැලීමේ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම්වරයා, අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.