හුදකලා කළ වසම් 2ක උද්ඝෝෂණයක් පොලිසිය මැදිහත්වී නවතයි.

Isolate
By Thaya Jan 19, 2021 04:57 PM GMT
Thaya

Thaya

Report

හුදකලා කර තිබෙන අටුලුගම ගම්මානයට අයත්, එපිටමුල්ල සහ බමුණුමුල්ල ග්‍රාම සේවාවසම්වල පදිංචි පවුල් 200ක පමණ පුද්ගලයන් පිරිසක් එක්ව අද (19) සංවිධානය කිරීමට ගිය උද්ඝෝෂණයක් පොලිසියේ මැදිහත්වීම මත ඔවුන් විසින්ම නවතා දැමූ බව බණ්ඩාරගම පොලීසිය කියයි.

මෙම උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු සූදානම් වන බවට බණ්ඩාරගම පොලිසියට දැන ගැනීමට ලැබීමත් සමඟම අමතර පොලිස් නිලධාරීන් අලොතියාව පොලිස් මුරපොළ වෙත කැඳවා තිබිණි.

උද්ඝෝෂණයට සැරසුණු එම පිරිස සිංහල පවුල්වල වැසියෝ වෙති.

එම ස්ථානයට පැමිණි පවුල්වල නියෝජිතයෝ දෙදෙනෙක් ඔවුන් පත්ව සිටින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැවසූහ. තමන්ට රුපියක් 5000ක් වටිනා බඩුමල්ලක් රජය මගින් ලබා දුන්නද එහි ඇතුලත්ව ඇත්තේ රුපියල් 4000ක පමණ භාණ්ඩ බවත්, එය සති දෙකකටවත් ප්‍රමාණවත් නොවන බවත් පවසා තමන්ට සාධාරණයක් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

එහිදී එම පිරිස ඇමතූ එහි සිටි පොලිස් පරීක්ෂකවරයෙකු මේ වන විට එම පෙදෙස්වල හුදකලා බව ඉවත් කිරීමට සාකච්ඡා පැවැත්වෙන බවත්, කලබලයට පත්ව කටයුතු නොකරන ලෙසත් පැවසීය. ඉන් අනතුරුව එම නියෝජිතයන් දෙදෙනා තමන් ඇතුළු පිරිස යොදාගත් පරිදි උද්ඝෝෂණය නොකරන බව පවසා එම ස්ථානයෙන් ද පිටව ගියහ.

මේ තත්වය හේතුවෙන් කලබලයට පත් එම වසම්වල පදිංචි මුස්ලිම් ප්‍රජාව අලොතියාව හන්දියේ ප්‍රධාන පොලිස් මුරපොළ වෙත පැමිණියහ. ඔවුන් කිසිදු ආකාරයක උද්ඝෝෂණයක් නොකරන බවත්, සිංහල ප්‍රජාව සිදුකිරීමට සැරසුණු උද්ඝෝෂණයට සහයක් නොදක්වන බවත්, හුදෙකලා බව ඉවත්කළ දිනක තම කටයුතු සඳහා පිටතට යන බවත් ඔවුහු නිලධාරීන්ට පැවසූහ.