අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනපුරා ඇඳිරි නීතිය පනවයි ද? තීරණය මෙන්න.

Curfew Police Shavendra Silva
By Thaya Dec 25, 2020 11:27 AM GMT
Report

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනපුරා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා.

මේ අතරකොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වීම හේතුවෙන් ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ ජින්නා නගර් ප්‍රදේශය අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙන බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ, සති කිහිපයක් පුරාවට හුදෙකලා කොට තිබු කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි වැල්ලම්පිටිය, සාලමුල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවරගෙන ඇති බවයි.

මේ අතර පසුගිය දින කිහිපය පුරා බස්නාහිර පලාතෙන් පිටව යන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන ඇති බවද හමුදාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ හමුදාපතිවරයා.

” සංචරණ සීමා පනවලා මේ දේ කරන්න ඕන කමක් නැහැ. රටේ සිටින්නේ බුද්ධිමත් ජනතාවක්, මේ වෙලාවේ හොදම දේ තමයි තමුන් සිටින ප්‍රදේශයෙන් පිටට නොයා සිටින එක. විශේෂයෙන් බස්නාහිර පළාතේ ජනතාව පවතින තත්ත්වය තේරුම් අරන් ඒ අවශ්‍ය විදිහට තමන්ගේ සංචරණ සීමා පනවා ගන්න අවශ්‍ය කටයුතු කරන්න. වෙනදා මෙන් උත්සව සමය හෝ නිවාඩු කාලය ගත කරන්න අපට ඉඩ ලැබෙන්නේ නැහැ. මේ කොවිඩ් තත්ත්වය සමග අප ආරක්ෂා වීම වැදගත්” යැයි හමුදාපතිවරයා කියා සිටියා.