මෙරට ක්‍රීඩකයින් 12ක් සමගින් IPL ක්‍රීඩක වෙන්දේසිය අද
ලොව ප්‍රමුඛතම විස්ස විස්ස ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙස හදුන්වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය අද (16 වැනිදා) පැවැත්වීමට නියමිතය.
එය පැවැත්වෙන්නේ අබුඩාබි හිදීය.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 1390 ක් ලියාපදිංචි වී තිබේ. ඉන් ක්‍රීඩකයින් 350 ක් ලැයිස්තුගත කර ඇත. මේ සඳහා ඉන්දියානු ක්‍රීඩකයින් 240 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 110 ක් ඇතුළත් වේ.
තවද මෙම සංචිතය සදහා ජාත්‍යන්තර වරම් නොලද ඉන්දීය ක්‍රීඩකයන් 224 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 14 දෙනෙක් ඇතුළත්ය.
ඒ වගේම කණ්ඩායම් 10ක් සඳහා මෙවර ක්‍රීඩකයන් 77 දෙනෙකු තෝරාගැනීමට නියමිතය ඒ අතරින් විදෙස් ක්‍රීඩකයන් සඳහා ස්ථාන 31ක් වෙන්ව තිබේ.
තවද එක් කණ්ඩායම් සංචිතයක් සඳහා අවම ක්‍රීඩකයින් 18කට සහ උපරිම ක්‍රීඩකයන් 25කට යටත්ව ක්‍රීඩකයන් තෝරාගැනීමේ අවස්තාව ඇත.
මේ වන විට සියලුම කණ්ඩායම් පෙර තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයන් තම සංචිතයේ රඳවාගෙන ඇත.
ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයන් 16ක් ද, දිල්ලි කැපිටල් ක්‍රීඩකයන් 17 දෙනෙක් ද, ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයන් 20දෙනෙක් ද සිය සංචිතවල රඳවාගෙන තිබේ.
එසේම කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයන් 12ක්, ලක්නව් සුපර් ජයන්ට්ස් ක්‍රීඩකයන් 19ක් ද, මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයන් 20ක් ද, පන්ජාබ් කින්ග්ස් ක්‍රීඩකයන් 21ක් ද, රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩකයන් 16ක් ද, රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු ක්‍රීඩකයන් 17ක් මෙන්ම සන්රයිසස් හයිද්‍රබාද් ක්‍රීඩකයන් 15 බැගින් රඳවා ගෙන ඇත.
මෙම ක්‍රීඩකයන් අතර හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වන කමිඳු මෙන්ඩිස් සහ එශාන් මාලිංගත්, බෙන්ගලුරු කණ්ඩායම නුවන් තුෂාර රඳවාගෙන ඇති අතර දිල්ලි කණ්ඩායම දුෂ්මන්ත චමීර ද රඳවාගෙන ඇති බව සදහන් වේ.
තවද මෙහි විශේෂත්වය වනුයේ ඔවුන්ට අමතරව මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 12 දෙනෙකු යෝජනා වී තිබීමයි.
තවද මින් පෙර තරගාවලිය ක්‍රීඩා කළ වනිදු හසරංග, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, දසුන් ශානක මෙන්ම පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, වියස්කාන්ත් විජයකාන්ත්, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, ට්‍රවීන් මැතිව් සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ එක්ව තිබේ.