බෝට්ටුවක් පෙරලී රොහින්ග්‍යා සරණාගතයින් සහ බංග්ලාදේශ ජාතිකයන් 250ක් අතුරුදන්

Report

අන්දමන් මුහුදේ බෝට්ටුවක් පෙරලීමෙන් රොහින්ග්‍යා සරණාගතයින් සහ බංග්ලාදේශ ජාතිකයන් ඇතුළු තවත් අය බොහෝ දෙනෙකු අතුරුදන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

පිරිමින්, කාන්තාවන් සහ ළමුන් රැගත් මෙම බෝට්ටුව තද සුළඟ, රළු මුහුදු තත්ත්වයන් සහ අධික පිරිසක් සිටීම නිසා ගිලුණු බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ අන්තර්ජාතික සංක්‍රමණ සංවිධානය  නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වේ.

මියන්මාරයේ පවතින මර්දනය සහ සිවිල් යුද්ධයෙන් බේරීම සඳහා සෑම වසරකම දහස් ගණනක රොහින්ග්‍යා වැසියන් අනාරක්ෂිත බෝට්ටු මගින් මුහුදු මාර්ගයෙන් පලා යාමට උත්සාහ කරමින් තම ජීවිත අවදානමට ලක් කරති. ඉන්දුනීසියාව බලා යාත්‍රා කරමින් තිබූ බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක් මගින් අප්‍රේල් 9 වැනි දින මුහුදේ පාවෙමින් සිටි කාන්තාවක් ඇතුළු නව දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව විදේශීය පුවත් සේවා වාර්තා කර තිබේ.

ඊශ්‍රායල හා ලෙබනන සාකච්ඡා අසාර්ථකයි - මෙන්න විස්තරේ

ඊශ්‍රායල හා ලෙබනන සාකච්ඡා අසාර්ථකයි - මෙන්න විස්තරේ

බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක ලුතිනන් කොමදෝරු සබ්බීර් අලාම් සුජාන් පැවසුවේ, ගැඹුරු මුහුදේ බැරල් සහ ලී කොටන් ආධාරයෙන් පාවෙමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු නිරීක්ෂණය වූ අතර, ඔවුන් බේරාගත් බවයි. බේරුණු නව දෙනාගෙන් හය දෙනෙකු මිනිස් ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන අතර, ඔවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බේරුණු එක් අයෙකු පවසා ඇත්තේ, මැලේසියාවේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී මිනිස් ජාවාරම්කරුවන් විසින් තමන්ව මෙම බෝට්ටුවට නංවා ගත් බවයි. බෝට්ටුව පෙරළීමට පෙර දින කිහිපයකට ආසන්න කාලයක් ගමන් කළ බවද ඔහු සඳහන් කර තිබේ.

රොහින්ග්‍යා වැසියන් දීර්ඝ කාලයක් තිස්සේ අවතැන්ව සිටීම සහ ඔවුන් සඳහා ස්ථිර විසඳුමක් නොමැති වීමේ "බිහිසුණු ප්‍රතිඵල" මෙම සිදුවීමෙන් පිළිබිඹු වන බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ අන්තර්ජාතික සංක්‍රමණ සංවිධානය ආයතන පෙන්වා දෙති. මෙම ඛේදවාචකයෙන් පසු මුහුදු මාර්ගයෙන් රොහින්ග්‍යා සරණාගතයින් මුහුණ දෙන අවදානම් ගැන ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබේ.

සුභ ආරංචියක් - හදිසියේම තෙල් මිල පහළට

සුභ ආරංචියක් - හදිසියේම තෙල් මිල පහළට