කුම්බ්මේලා උත්සවය නිසා ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය තවත් ඉහළ යාමේ අවදානමක්

By Wasantha Apr 15, 2021 04:44 AM GMT
Report

 ඉන්දියාවේ ගංගා නම් ගඟ කේන්ද්‍ර කරගනිමින් හරිද්වාර් නගරයේ පැවැත්වෙන හින්දු භක්තිකයින්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන කුම්බ්මේලා උත්සවය හේතුවෙන් එරට කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවට, ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. කුම්බ්මේලා උත්සවයට සහභාගී වූ 50,000 ක පිරිසකගෙන් ලබාගත් ජෛව සාම්පලවලින් සිදු කළ පී සී ආර් පරීක්ෂණවලදී, ගත වූ සඳුදා සහ අඟහරුවාදා දෙදින තුළ පමණක් දහසකට අධික කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබෙනවා. ගංගා නදියෙහි ස්නානය කළ විට සිය පව් සේදී යන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. පසුගිය අඟහරුවාදා දිනයේදී පමණක් හින්දු බැතිමතුන් මිලියන 03 කට අධික පිරිසක් ගංඟා නදියෙන් ස්නානය කර තිබෙනවා. ගංගා නදියේ ජලය තමන් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කරනු ඇති බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්, මේ වසරේ කුම්බ්මේලා උත්සවය අප්‍රේල් පළමුවනදා සිට 30 වනදා දක්වා මසක කාලයකට පමණක් සීමා කර තිබෙනවා. කෙසේ වෙතත්, වසංගතය සීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින මොහොතක මෙවන් උත්සවයක් පැවැත්වීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට බොහෝ විවේචන එල්ල වෙමින් පවතින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.