අලුතින් ජංගම දුරකථන මිලදී ගත් අයට අතිශය වැදගත් පණිවුඩයක්.

Mobile Phones
By Thaya Jan 07, 2021 10:27 PM GMT
Report

අලුතින් මිලදී ගත් ජංගම දුරකථනවල එමි අංක පසුගිය ජනවාරි පළමුවැනිදාට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර නොමැති නම්, එම දුරකථන සම්බන්ධතා අක්‍රියවීම පිළිබඳව තම ආයතනය වගකීම භාර නොගන්නා බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසයි.

ඔහු අවධාරණය කර සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මස පළමුවැනිදා සිට මෙම වසරේ ජනවාරි මස පළමුවැනිදා දක්වා මාස තුනක කාලයක් මෙම නව දුරකථන එමි අංක ලියාපදිංචි කිරීමට කාලය ලබාදුන් බවත් එම කාලය මේ මස පළමුවැනිදායින් අවසන් වූ බැවින් නැවත ඒ සඳහා අවස්ථාවක් නොලැබෙන බවයි.

එමි අංක ලියාපදිංචි කරන ලෙස ඉල්ලා සිටියේ පාරිභෝගික ජනතාවගේ යහපත උදෙසා බවත්, එමගින් වංචනික ජංගම දුරකථන වෙළෙඳුන්ගෙන් සහ ආයතනවලින් බේරී සිටීමට හැකියාව ලැබෙන බවත් හෙතෙම කියා සිටියි.

මාස තුනක කාලයක් මේ සඳහා ලබාදී තිබියදීද බොහෝ පාරිභෝගිකයන් අලුතෙන් මිලදී ගන්නා ජංගම දුරකථන ලියාපදිංචි කිරීමට කටයුතු කර නොමැති බවත් එලෙස ලියාපදිංචි කර නැති දුරකථනවල සම්බන්ධතාව අක්‍රිය වුවහොත් එය සිදුවන්නේ ඒ පුද්ගලයන්ගේ වැරැද්දෙන් මිස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැරැද්දකින් නොවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඔක්තෝබර් මස පළමුවැනිදාට පෙර මිලදී ගත් ජංගම දුරකථනවලට මෙය අදාළ නොවන බවත් එම කාලය තුළ දුරකථන මිලදී ගත් පාරිභෝගිකයන් බිය නොවිය යුතු බවයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙවැනි වැඩසටහන් ආරම්භ කළේ ප්‍රමිතියකින් තොර ජංගම දුරකථන වංචනිකව අලෙවිය බොහෝ විට මෙරට තුළ සිදුවන බැවින්ය. ජනතාව එම කූට වෙළෙඳුන්ගේ උපක්‍රමවලින් ගලවා ගැනීම අරමුණු කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.