කොරෝනා වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට කළ යුතු නිවැරදිම දේ

covid19 neelika malavige immunity jayawardhena pura univercity
By Sewvandhi May 19, 2021 08:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනාවෛරස ව්‍යාප්තිය සමග ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා යැයි විවිධ ආහාර වර්ගවල නම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ ද එලෙස ප්‍රතිශක්තිය ඉහළ නංවන ආහාර වර්ග නොමැති බවත් වැදගත් වන්නේ සමබල ආහාර වේලක් ගැනීම බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, 'කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය' යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (මැයි 19) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය. සමබල ආහාර වේලක් මගින් ශරීරයට අවශ්‍ය කරන විටමින් වර්ග සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ආදිය ලැබෙන බැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වා ගැනීමට එය ආධාර වන බව ඇය තවදුරටත් පැහැදිලි කළාය.

මීට අමතරව සිරුරේ ප්‍රතිශක්තිය හොඳින් පවත්වා ගැනීම සඳහා නිතිපතා ව්‍යායාම කිරීම ද වැදගත් බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

"විවිධ මත පැතිරෙනවා විටමින් ඩී ගන්න, විටමින් සී ගන්න, විටමින් ඊ ගන්න කියලා. ඒවා ගත්තා කියලා එහෙම ප්‍රතිශක්තිය වැඩිවීමක් වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ නිසි ආහාර වේලක් ගැනීම.

මේ වෛරසය හැදෙන්නේ ශ්වසන පද්ධතියට. ශ්වසන පද්ධතියේ තියෙන ප්‍රතිශක්තිය අඩු කරන දෙයක් තමයි දුම් පානය. දුම් පානය කරන කෙනෙකුට ඒ නිසා මේ වෛරසය වැළඳීමේ ඉඩකඩ වැඩියි. සංකූලතා ඇති වීමේ ඉඩකඩත් වැඩියි.

මැරෙන්න තියන ඉඩකඩත් වැඩියි. ඒ නිසා ඔබ දුම් පානය කරනවා නම් දැන් හරි ඒක නැවැත්තුවොත් හොඳයි," යනුවෙන් වෛද්‍යවරයා පැවසීය.

තව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, නිවසේ සිට පුද්ගලයෙකු දුම් පානය කරයි නම් එම පුද්ගලයාගේ නිවසේ සාමාජිකයන්ගේ පවා ප්‍රතිශක්තිය අඩු වීම සිදු විය හැකි බව ය. එම නිසා නිසි ප්‍රතිශක්තියක් පවත්වාගැනීම සඳහා දුම්පානය කිරීම අත්හැරිය යුතු බව වෛද්‍යවරයා පැහැදිලි කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now