හදුනාගත් මාර්ගයක් අප්‍රියෙල් මාසයට පෙර ....

Sri lanka
By Thaya Feb 26, 2021 05:56 PM GMT
Thaya

Thaya

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් "ගම සමග පිළිසදරක් වැඩ සමග යළි ගමට" වැඩසටහන යටතේ මාර්ග සංවර්ධනය සදහා සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදාළ දේශපාලන නායකයින් සහ රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ජාවක් මහාමාර්ග අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දින අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය හා ග්‍රාමීය ආර්ථිකය නංවාලීම මුලික කොටගෙන ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටුදැකීම සදහා වන ජනාධිපති විශේෂ කාර්‍ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

මේ යටතේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ දාහතර දහසක් ක් සදහා එක් කොට්ඨාශයකට රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ජනතා ඉල්ලීම් මත හදුනාගනු ලබන කිලෝ මීටර් 1 ට අඩු මාර්ගයක් හෝ දෙකක් අප්‍රේල් මස අවසන් වීමට පෙර සෑම ග්‍රාම සේවා වසකම ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබේ. මහාමාර්ග අමාත්‍යාංශය, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජේලාල් ද සිල්වා, චන්දිම වීරක්කොඩි, ගීතා කුමාරසිංහ, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබිලිව්.ආර්.පේමසිරි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රජයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාවුහ.