මම නිවසේ ස්වයං නිරෝධායනය වෙනවා - විශේෂඥ වෛද්‍ය පාදෙණිය

Quarantine
By Thaya Jan 15, 2021 11:39 AM GMT
Thaya

Thaya

Report

තමා මේ වනවිට සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ඔහුගේ නිවසේ පසුගියදා පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරුවීමත් සමග පාදෙණිය මහතා එම ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැණුනි.

ඒ අනුව අදාළ නිරෝධායන කටයුතු සඳහා ඊයේ (13) රාත්‍රීයේ සහ අද (14) පෙරවරුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ගොස් තිබුණත් එහි කිසිවෙකු රැඳී සිට නොමැති බව වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේ, "PHI මහත්තයා එන වෙලාවේ මම කොළඹින් පිට තමයි හිටියේ. අපේ ගෙදර වැඩකරන කෙනා මාස 6කින්වත් ගෙදර ගිහින් තිබුණේ නෑ. එයාව බස් රථයකින් ගෙදර යවපුවාම රෝගය පැතිරීමට ඉඩකඩ තිබෙන නිසා මම මගේ වාහනයෙන් රත්නපුරට ගිහින් දාලා ආවා. ඒ අතරතුර තමයි මේ කියන PHI මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම ගියේ මගෙ වාහනයෙන්මයි. මග රැඳීසිටීමක් සිදුකරලා නෑ. හෙට උදේ මගේ PCR පරීක්ෂණයක් කරනවා කිව්වා. එතෙක් මම ගෙදර ස්වයං නිරෝධායනය වෙලා ඉන්නවා," යනුවෙනි.