හෝටල් කළමනාකරණ ආයතනය විශ්ව විද්‍යාලයක්?

University
By Thaya Apr 08, 2021 06:08 PM GMT
Thaya

Thaya

Report

සංචාරක හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක හෝටල් කලමනාකරණ ආයතනය සහ සමුළු කාර්යාංශ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයන් සමඟ ඊයේ (7) සංචාරක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා ඉතා හොඳින් ආගන්තුක සත්කාර දක්වන හා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස නමක් දිනා ගෙන තිබේ. එබැවින් හෝටල් කළමනාකරණ ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කර උපාධි පිරිනමන තත්ත්වයට ගෙන ඒම මගින් හෝටල් ක්ෂේත්‍රයට තරුණ තරුණියන්ව ආකර්ෂණය කර ගැනීම සඳහා එය ඉවහල් වනු ඇතිය යන්න සිය අදහස බව ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය .

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ ද ඉදිරිපත් කර තිබෙන මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම තුලින් සංචාරක හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ වන තරුණ තරුණියන්ට දෙස් විදෙස් රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබා ගැනීමේ හැකියාව පවතියි. මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා ආරම්භ වී තිබේ. ඊට අමතරව හෝටල් කලමණාකරණ ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනා ඇති එම පාඨමලා ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමග ද මීට අඳාලව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. 2005 අංක 38 දරණ සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක පනතක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ද ඇමතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ට කරුණු පැහැදිලි කළේය. ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ සමුළු කාර්යංශය ඒකාබද්ධ කිරීමටත් සංචාරක හෝටල් කලමනාකරණ ආයතනය වෙනම ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමටත් අවධානය යොමුව ඇති බවයි.

ලෝකයේ කොවිඩ් එන්නත්කරණයත් සමග ඉදිරි මාස 06ක කාලය තුළ සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව යථා තත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම කාල සීමාව තුල සංචාරකයින් මෙරටට වැඩි වශයෙන් ආකර්ෂණීය කර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් ක්‍රියාත්මක වන බවත් පැවසූ ඇමතිවරයා ඒ සඳහා සංචාරක ක්ෂේත්‍රයන්ට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ සහය අපේක්ෂා කරන බවත් කීවේය. රජයේ ඉදිරි වැඩපිළිවෙල සඳහා වෘත්තීය සමිති සහයෝගය අපේක්ෂා කරන බවත් අනෝන්‍ය අවබෝධය තුලින් ආයතන ඉදිරියට ගෙන යාම සඳහා වෘත්තීය සමිති සහය ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් පැවසූ ඇමතිවරයා ඕනෑම මොහොතක ආයතන සම්බන්ධයෙන් අදහස් හෝ යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම සාකච්ඡාව සඳහා සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.