හෙට පාසැල් විවෘත වන ප්‍රදේශ සියල්ල මෙන්න.

school
By Thaya Jan 12, 2021 06:59 PM GMT
Thaya

Thaya

Report

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල 2021 වර්ෂය සඳහා පාසල් හෙට (11) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කළා.

“පාසල් නිවාඩුවට කලින් සෞඛ්‍ය නිර්දේශ අපි ලබාදුන්නා පාසල් විවෘත කිරීම සඳහා. ඒ සෞඛ්‍ය නිර්දේශ සහ ඒවා පොඩි සංශෝධනයක් කරලා නැවත වරක් අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. විදුහල්පති තුමා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා ඇතුළු ගුරුභවතුන් හා දෙමාපියන්, ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍යතුමා සහ මහජන සෞඛ්‍ය තුමාගෙන් යුතු කමිටුවකින් මෙම සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපඳිනවා ද යන්න අධ්‍යයනය කරමින් එම පාසල් විවෘත කරන්න කියලා තමයි අපි නිර්දේශ ලබා දීලා තියෙන්නේ. බස්නාහිර පළාතේ අපි අවසර දීලා නෑ. සාමාන්‍ය පෙළ සඳහා සිසුන්ගේ පන්ති විවෘත කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. කොහොම වුණත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම සඳහා අපිට පාසල් අරිනකල් අවසර ලබා දිය නොහැකියි. පාසල් විවෘත කර ඇති ප්‍රදේශවල උපකාරක පන්ති ආරම්භ කිරීම ගැන ලබන සතිය වන විට මාර්ගෝපදේශ ලබාදිය හැකියි.“

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන්නේ ද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩි අවධානයක් යොමුකර ඇති බවයි.

කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් හෙට දිනයේ විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

සතියක පමණ කාලයක් පාසල් වසා දමා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත යුතු බව වව්නියාව කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.