පාර්ලිමේන්තු මන්ත්‍රී හරින්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

By Wasantha Apr 27, 2021 10:25 AM GMT
Report

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළව පොලීසිය විසින් තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට රහස් පොලිසියේ අධ්‍යක්ෂ, පොලිස්පතිතුමා, අමාත්‍ය සරත් වීරසේකර සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. 2019 අප්‍රේල් 21 දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කර ඇති බව පෙත්සම්කරු කියා සිටියා.

මාධ්‍ය මගින් තමා කළ ප්‍රකාශයෙන් අපේක්ෂා කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීන් කරුණු නොදැන සිටියත් වයස්ගතවී ‍රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම පියා යම් තොරතුරක් දැන සිටි බවට ජනතාව දැනුවත් කිරීම බව හරීන් ප්‍රනාන්දු සිය පෙත්සමේ සදහන් කර තිබෙනවා.

තමා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමේ සැබෑ අරමුණ පාර්ලිමේන්තුවේදී කළ කතා සහ රජයට විරුද්ධ වීම නිසා ඔහුව නිහඩ කිරීම බව පෙත්සම්කරු පවසා සිටියි .