අත්ලාන්තික් සාගරය කැළඹෙයි - සංචාරක නෞකාවක පැතිර ගිය සැක සහිත වෛරසයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
අත්ලාන්තික් සාගරයේ ගමන් කරමින් තිබූ සංචාරක නෞකාවක පැතිර ගිය "හන්ටාවෛරස්" (Hantavirus) රෝගී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇති බව සඳහන්.
ඒ අනුව මෙම වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ එක් රෝගියෙකු සහ සැක සහිත රෝගීන් පස් දෙනෙකු පිළිබඳව වාර්තා වී ඇති බව පවසයි.
එමෙන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන 69 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති බව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් බලධාරීන් පසුව තහවුරු කර ඇත.
හන්ටාවෛරස් යනු සාමාන්‍යයෙන් මීයන් වැනි රොඩන්ට් (Rodent) සතුන්ගේ මුත්‍ර හෝ මළපහ මඟින් මිනිසුන්ට බෝ වන වෛරසයක් වේ.
එසේම එය දරුණු ශ්වසන රෝග ඇති කිරීමට හේතු විය හැකි අතර, පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ ඉතා කලාතුරකික් බව සඳහන්.
කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය වාර්තා වී ඇත්තේ ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් (Cape Verde) බලා ගමන් කරමින් තිබූ MV Hondius නම් නෞකාවේන්.
එම නෞකාව 'Oceanwide Expeditions' නම් සංචාරක සමාගම යටතේ ක්‍රියාත්මක වේ.
මේ අතර බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ තමන් මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්, පීඩාවට පත් බ්‍රිතාන්‍ය ජාතිකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බවත් ය.