ප්‍රංශ සෙනෙට් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් කථානායකවරයා හමුවෙයි
ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් ප්‍රංශ සෙනෙට් සභාවේ, ප්‍රංශ – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වයෙන් පැමිණි නියෝජිත පිරිසක් පසුගියදා (21 ) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබෙනවා.
නියෝජිත පිරිසට ප්‍රංශ–ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිනිය වන සෙනෙට් සභික වැනීනා පෙයෝලි-ගැගින් , කණ්ඩායමේ උප සභාපති ඩිඩියර් මාරී , සෙනෙට් සභික ලෝරන්ස් මුලර්-බ්‍රොන් සහ ජාත්‍යන්තර සබඳතා හා ප්‍රොටොකෝල් අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ චාලට් ඩමාන් යන මහත්ම මහත්මීන් ඇතුළත්.
නියෝජිත පිරිස පිළිගනිමින් කථානායකවරයා, ගතවූ දශක හතක කාලය තුළ අන්‍යෝන්‍ය ගෞරවය හා පොදු වටිනාකම් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළා.
අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම හා ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වැදගත්කම ඔහු අවධාරණය කළා. මෙහිදී “දිට්වා” සුළි කුණාටුවෙන් පසු ප්‍රංශය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සඳහා කථානායකවරයා සිය කෘතඥතාව පළ කළා.
එමෙන්ම සුළි කුණාටුවෙන් පසු ඇති වූ තත්ත්වය සහ වත්මන් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඇතිවූ අභියෝගද සාර්ථකව කළමනාකරණය කිරීමට වත්මන් රජයට හැකිවූ බව කථානායකවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවා. ආර්ථික සබඳතා අවධාරණය කරමින් කථානායකවරයා සඳහන් කළේ ප්‍රංශය, ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන සංචාරක මූලාශ්‍ර වෙළඳපොළක් ලෙස පවතින බවයි. ශ්‍රී ලංකාවේ සාමකාමී පරිසරයද ඉස්මතු කරමින් කථානායකවරයා, දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සංචාරක හා ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළා.
තවද, සංචාරකයින්ගේ ආරක්ෂාව ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව සහතික කරන අතර, තාක්ෂණය මත පදනම් වූ විසඳුම් හා ශක්තිමත් පැමිණිලි අධීක්ෂණ පද්ධති හරහා සේවා පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසුවා. එසේම, දෙරට අතර ගුවන් සම්බන්ධතා පුළුල් කිරීම සදහා ප්‍රංශ ගුවන් සේවය සමඟ ඇති සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම GSP+ පහසුකම හරහා මෙරටට ලබාදෙන සහයෝගයට කථානායකවරයා, සිය කෘතඥතාව පළ කළේය. එසේම, වැඩිදියුණු කළ සහයෝගිතාව හා තිරසාර වෙළඳ අවස්ථා හරහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවද ඔහු පැවසුවා.
ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍ර සංගමය හරහා පාර්ලිමේන්තු සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා. එමෙන්ම, දෙරටටම වර්ධනය වන වැදගත්කමක් ඇති ක්ෂේත්‍ර වන සමුද්‍රීය ආරක්ෂාව සහ නිල් ආර්ථිකය (blue economy) වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. මෙහිදී අදහස් දැක්වූ සෙනෙට් සභික වැනීනා පෙයෝලි-ගැගින් මහත්මිය, ශ්‍රී ලංකාව විසින් ලබාදුන් උණුසුම් පිළිගැනීමට සහ ආගන්තුක සත්කාරයට සිය කෘතඥතාවය පළ කළ අතර, ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රංශ නිරන්තරයෙන් කැපවීම සිටින බව අවධාරණය කළා. මෙහිදී නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සිදු කිරීමට නියමිත සිය ක්‍රියාකාරකම් පිළිබඳවද කරුණු පැහැදිලි කළා.
ඒ අනුව මෙරට ජල පිරිපහදු ව්‍යාපෘති, විශ්වවිද්‍යාල සහයෝගිතා සහ රෙදිපිළි කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල මුලපිරීම් සඳහා සහය දැක්වීමටද කැමැත්ත පළ කළ ඔවුහු, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමේ අපේක්ෂාව පිළිබඳ පැහැදිළි කළා. මෙම නියෝජිත පිරිස , ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සමඟද සාකච්ඡා පැවැත්වූවා. එම හමුව ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සහ ප්‍රංශ–ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති සෙනෙට් සභික වැනීනා පෙයෝලි-ගැගින් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙහිදී, ආර්ථික සම්බන්ධතා, තිරසාර සංවර්ධනය, දේශගුණික ක්‍රියාමාර්ග සහ සමාජ ප්‍රතිපත්ති ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගිතාව සඳහා නව අවස්ථා පිළිබඳව පුළුල් සාකච්ඡාවක් පැවැත්වුණා. මෙහිදී ප්‍රංශයේ සංචාරයක නිරතවීම සඳහා ශ්‍රී ලංකා-ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයට කළ ආරාධනයට අමාත්‍ය පෝල්රාජ් මහත්මිය සිය කෘතඥතාව පළ කළා.
එමෙන්ම ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, ළමා ආරක්ෂාව ඇතුළත් සමාජ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමේදී දෙරට අතර සහයෝගිතාවේ වැදගත්කම අමාත්‍යවරිය ඉස්මතු කළා. තවද, වෙළඳාම, ආයෝජන, අධ්‍යාපනය, සමුද්‍රීය සහයෝගිතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල ප්‍රංශය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවා. එසේම, ද්විපාර්ශ්වික හා ගෝලීය මට්ටමින් මෙම හවුල්කාරිත්වයට විශාල ඉදිරි ගමනක් ඇති බවද ඇය අවධාරණය කළා.
මෙම හමුවට ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, ලාල් ප්‍රේමනාත්, තනුර දිසානායක සහ ධර්මප්‍රිය දිසානායක යන මන්ත්‍රීවරුන්ද සහභාගී වී සිටියා. මෙම සාකච්ඡාවලින් අනතුරුව නියෝජිත කණ්ඩායම, කථානායකවරයා සහ ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සමඟ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ අතර, ඉන්පසු පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා. මෙම රැස්වීම් සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගීවී සිටියා.