ධනුෂ්ක දවාගත් විදිහ ගැන කොදෙව් නායකයාට හිටපු නායකයෙකුගෙන් චෝදනා

West Indies
By Thaya Mar 11, 2021 09:39 PM GMT
Thaya

Thaya

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී ධනුෂ්ක ගුණතිලකගේ දැවීයාම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එම තරඟයේ ලකුණු 55 ක් රැස්කරගෙන සිටි ධනුෂ්ක ගුණතිලක, කිරන් පොලාර්ඩ් යොමු කළ පන්දුවකට පහරක් එල්ල කර පියවර කිහිපයක් ඉදිරියට පැමිණි අතර අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් පැතුම් නිශ්ශංක ලකුණක් ලබාගැනීමට උත්සාහ කළා.

දුවද්දී දැවී යාමේ අවදානම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක එම ලකුණ ලබාගත්තේ නැහැ.

අදාළ අවස්ථාවේ පන්දු යැවූ කිරන් පොලාර්ඩ් ධනුෂ්ක දෙසට පැමිණ පන්දුව ලබාගැනීමට උත්සාහ කළ අතර ඊට ධනුෂ්කගෙන් බාධා එල්ල වූ බවට විනිසුරුවරයාට පැමිණිලි කළා.

ඒ අනුව විනිසුරුවරයා තීරණය කළේ පන්දු රකින්නන්ට බාධා කිරීමේ චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලක දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කිරීමටයි. කෙසේ වෙතත්, කොදෙව් කණ්ඩායමේ නායක කිරන් පොලාර්ඩ්ගේ එම ක්‍රියාව බොහෝදෙනෙකුගේ විවේචනයට ලක්ව තිබෙනවා.

විස්සයි විස්ස ලෝක ශූරතාව දෙවතාවක් කොදෙව් දේශයට දිනා දුන් හිටපු නායක ඩැරන් සැමී ද පොලාර්ඩ්ගේ ක්‍රියාව විවේචනයට ලක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ අවස්ථාවේ ධනුෂ්ක ගුණතිලක සිතා මතා වරදක් කර නොමැති බවයි.

අදාළ අවස්ථාවේ පන්දු යැවූ ක්‍රීඩකයා තමන් නම් එවැනි ඉල්ලීමක් සිදු නොකරන බව ද ඩැරන් සැමී ප්‍රකාශ කර තිබෙනවා. මෙම දැවී යාම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පන්දු රකින්නන්ට බාධා කිරීමේ චෝදනාව යටතේ දැවී ගිය පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වුණා.


ReeCha