අධිකරණයට ගිය බලු ගැටුම. - අයිතිකාරයා සොයන්න DNA පරීක්ෂණයක්.

Sri Lanka Police Sri Lanka
By Wayomi Oct 13, 2023 11:25 AM GMT
Wayomi

Wayomi

Report

සුනඛ ගැටළුවක් විසඳීමට DNA පරීක්ෂණය කිරීමට සිදු වූ පුවතක් කිලිනොච්චියෙන් වාර්තා වෙනවා.

කිළිනොච්චියේ පාර්ශ්වයන් දෙකක් විසින් ෆොමනේරියන් වර්ගයේ සුරතල් සුනඛයකුට අයිතිවාසිකම් කියා සිටීම හේතුවෙන්.

ඒ, අනුව සුනඛයා පිළිබඳව ජාන පරීක්ෂණයක් සිදු කොට එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කිළිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා 10 දා පොලිසියට නියෝග කර තිබුණා.

කිළිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ වැසියකු මුලින්ම කිළිනොච්චිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තම සුනඛයා අතුරුදන් වී ඇති බවයි.

අනතුරුව දින කීපයකට පසුව එම සුනඛයා පැමිණිල්ල දැමූ පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති අතර ඊට පසු දිනයේ කිළිනොච්චියේ තවත් පුද්ගලයකු පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත්තේ තමන්ට අයත් සුරතල් සුනඛයා වෙනත් අයකු විසින් බලහත්කාරයෙන් බැඳ තබා ගෙන සිටින බවයි.

දෙපාර්ශ්වයම කැඳවා පොලිසිය පැමිණිල්ල විභාග කළ ද දෙදෙනාම පොදු එකඟතාවයකට පැමිණීමට අකැමති වීම නිසා සුනඛයාගේ ප්‍රශ්නය කිළිනොච්චිය අධිකරණය වෙත යොමු කරනු ලැබුවා.

එහිදී සුනඛයාගේ මුල් අයිතිකරු බව කියන පුද්ගලයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් ඇති දැඩි කරන මෙම සුනඛයාගේ මව කිළිනොච්චියේ වෙනත් ස්ථානයක සිටින බවත්, තමන් එම නිවසින් මේ සුනඛයා මිලදී ගත් බවත්ය.

ඒ අනුව අවසානයේ සුනඛයාගේ නියම අයිතිකරු සොයාගැනීමට සුනඛයා සම්බන්ධයෙන් ජානමය පරීක්ෂණයක් සිදුකොට එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කිළිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරනු ලැබුවා.