සුරූපී තරුණියගේ ගෙල කපා මැරූ තැන සහ හැටි සොයා ගැනේ.. පෙම්වතා කඹයකුත් මිලදී ගන්න ගිහින්.

Police
By Thaya Mar 05, 2021 07:59 AM GMT
Thaya

Thaya

Report

බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි තම පෙම්වතියව පහරදී ඝාතනය කර හංවැල්ල හෝටලයේ නාන කාමරයේදී ගෙල කපා වෙන්කර ඇතැයි ඊයේ (3 වැනිදා) කළ විමර්ශනවලින් තහවුරු වී ඇත. තරුණියගේ උරහිසේ ඇති තැලුම් තුවාලය අනුව ඇය පහරකෑමට ලක්ව ඇතැයි මේ පොලිසිය සැක පහළ කරයි. ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් (SOCO) හෝටලයේ කාමරයට විශේෂිත රසායනික ද්‍රව්‍යක් යොදා කළ පරීක්ෂාවේදී වැසිකිළි පෝච්චියේ වතුර බැසයන ස්ථානයක වොෂ් බේසින් එක හා කොමඩ් හැඩලයේ ලේ තිබී හමු වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය. පහරදීමකින් මියගිය පසු හිස කඳින් වෙන්කර පිටව යන රුධිරය වැසිකිළි වළ තුළට යන සේ තබා ඇතැයි පොලිසිය පවසයි.

ඉන්පසු සැකකාර උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි 1 වැනිදා උදෑසන 9.00ට හංවැල්ල නගරයේ වූ අලෙවිසලකට ගොස් රුපියල් 6250ක් ගෙවා බෑගය රැගෙන එන අයුරු සී.සී.ටී.වී. දර්ශනවලින් සොයාගැනීමට හංවැල්ල පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක් සමත් වී ඇත. මෙම තරුණියගේ ගෙල කැපීමට යොදාගත් පිහියද හංවැල්ල නගරයේ පොළේ පිහි විකුණන තැනකින් මිලදී ගෙන ඇතැයි තහවුරු කරගෙන තිබේ. සැකකරු හංවැල්ල නගරයෙන් කඹයක් මිලදී ගැනීමටද සොයා ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී ඇත. බෑගයට සිරුර දමාගත් පසු ඔහුගේ කරේ එල්ලාගෙන ගිය බෑගයේ හිස රැගෙන යන්නට ඇතැයි විශ්වාස කරන බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේය.

ඝාතනය වූ තරුණියගේ සිරුර සහිත බෑගය වේල්ලවීදියේ දමා යද්දිත් සැකකරුගේ පිටේ වූ බෑගය තිබී ඇත. එහෙත් ඔහු එදිනම බඩල්කුඹුර නිවසට යන විට බෑගයක් නොතිබුණු බව බිරිඳගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබේ. මොහු අතරමගදී බෑගය විසිකර දමායන්නට ඇතැයි සැකකෙරේ. හංවැල්ල නගරයේ තිබී පෙරේදා (2 වැනිදා) සොයාගත් යට ඇඳුම් සහිත ගමන් බෑගයේ තිබූ ඇඳුම් තම නැගණිය වූ දිලිණි යසෝධාගේ බව ඝාතනයට ලක්වූ තරුණියගේ සොයුරා වන ප්‍රභාත් ජයසූරිය හඳුනාගෙන ඇත. ඔහු තම නැගණියගේ සිරුර හඳුනාගත්තද තරුණියගේ මවගේ ඩී.එන්.ඒ. සාම්පලයක් ගෙන ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කරන තුරු පශ්චාත් මරණ පරීක්ෂණය කල් දමා තිබිණි.