පාස්කු කොමිසමේ අවසන් වාර්තාව කඩිනමින් ජනපතිට...

Easter
By Thaya Mar 14, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද ව නිරීක්ෂණ ලබා දීම සදහා පත් කළ කමිටුව අදාළ වාර්තාව පිළිබද සිය නිරීක්ෂණ කටයුතු 80% ක් පමණ අවසන් කර ඇතැයි එම කමිටු සාමාජික ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරි දින කීපය තුළ මෙහි අවසන් වාර්තාව ජනපතිට ලබා දීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කරයි. පාස්කු ප්‍රහාරය පිළිබදව පසුගිය රජය පත් කළ විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පහුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් අතර එම වාර්තාව ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළීබද නිරීක්ෂණ ලබා දීම සදහා ජනාධිපතිවරයා සත් පුද්ගල කමිටුවක් පත් කළේය. කමිටුවේ සභාපතිවරයා වන්නේ ඇමති චමල් රාජපක්ෂ මහතායි. උදය ගම්මන්පිළ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ සහ නීතිඥ හරිගුප්තා රෝහණධීර යන අමාත්‍යවරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

ඊයේ (13) ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මේ වන විට අදාළ කමිටුව අවස්ථා තුනක දී රැස් වු බවයි. ඉතා ඉක්මණින් නැවත රැස් වි සාකච්ඡාව අවසන්කොට අවසන් වාර්තාව ජනාධිපතිවරයාට කඩිනමින් භාරදීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කළේය. කොමිෂන් වාර්තාවේ සදහන් කරුණු සම්බන්ධයෙන් කමිටුව ඉතා ප්‍රවේශමෙන් අධ්‍යනය කළ බවත්, මුස්ලිම් අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජයට අවස්ථා 333 ක දී පැමිණිලි ලැබි ඇතත් ඒ සම්බන්ධයෙන් ඔවුන් නිසි පියවර නොගෙන ඊට අදාළ පරීක්ෂණ යට ගසා ඇතැයි මෙහි දි තහවුරු වු බවත් ඇමතිවරයා සදහන් කළේය. අදාළ කොමිෂන් වාර්තාවේ එවකට පොලීසිය බාර ඇමතිවරයා සම්බන්ධව ගතයුතු කිසිදු පියවරක් නිර්දේශ කර නැතැයි ද පැවසු ඇමතිවරයා රට තුළ පාස්කු ප්‍රහාරය වැනි සිද්ධියක් නැවත ඇති නොවීමට වග බලා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග වලට අදාළ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද කීවේය.

අසාද් සාලි මහතා සිදු කරන අන්තවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් රජය ගනු ලබන පියවර කුමක්දැයි මාධ්‍ය වේදින් ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු සදහන් කළේ අසාද් සාලිට එරෙහිව පියවර ගන්න යැයි ජනාධිපතිවරායාගෙන් ඉල්ලා සිටින බවයි. අන්තවාදීන්ට උඩගෙඩි දෙන සාලි වැන්නවුන්ගේ දේෂ ද්‍රෝහී ප්‍රකාශ වහා නතර කිරීමට පියවර ගත යුතු යැයි ද ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවද රණතුංග මහතා සදහන් කළේය. ආණ්ඩුව මුස්ලිම් ඡන්ද අපේක්ෂාවෙන් කටයුතු කරන බවට නැගී ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ඇමතිවරයා සදහන් කළේ වත්මන් ආණ්ඩුව යහපාලන ආණ්ඩුව මෙන් අන්තවාදීන් සමග ගණුදෙණු නොකරන බවයි. කිසිදු අන්තවාදී කණ්ඩායමක් හෝ නායකයෙකු සමග එක්වීමට හෝ ඔවුන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව සුදානම් නැතැයිද ඔහු අවධාරණය කළේය.

පොදුජන පෙරමුණේ මීළග ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා බවට ඇතැමුන් කරන ප්‍රකාශ වලට ප්‍රතිචාර දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා තෝරාගන්නේ ජනතාවගේ කැමැත්ත අනුව බවයි. පොදුජන පෙරමුණේ ඊළග ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තේරීමට පක්ෂයට කිසිදු හදිස්සියක් නැති බවත්, සුදුසු අවස්ථාවේ දී ඒ පිළිබද ව ප්‍රකාශයට පත් කරන බවත් සදහන් කළ රණතුංග මහතා බැසිල් රාජපක්ෂ මහතා හොද නායකයෙකු බවත්, දැනටත් රට වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත් සදහන් කළේය.