පලාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්.

Election
By Thaya Apr 04, 2021 03:50 PM GMT
Report

පලාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇතත් ඒ සදහා පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කර ගැනීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. කෙසේ වෙතත් එලැඹෙන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටින සියළුම දේශපාලන පක්ෂ සමග පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවුරුදු නැකැත් සීට්ටුවක් නිවෙස් වලට බෙදා දීමට කටයුතු යොදා තිබේ. එය ඊයේ (03) පෙ.ව. 7.54 යෙදුනු සුභ මොහොතින් ජනතාව අතර බෙදා හැරීම ආරම්භ කෙරිණි.

මිනුවන්ගොඩ නගරයේ මෙම පත්‍රිකා බෙදා දීම සිදු කෙරුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පිරීස් මහතාගේ සහ සංචාරක ඇමති ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. පත්‍රිකා බෙදා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඇමති මහචාර්ය ජී.එල් පිරීස් මහතා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සිය පක්ෂයේ සුදානම මෙසේ හෙලි කලේය.

“පළාත් සභා මැතිවරණය පවත්වනවා. හැබැයි ඒකට පාර්ලිමේන්තුවට ගිහින් පණතක් සම්මත කර ගත යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරල තියෙනවා. ඒ පණත නැතිව පළාත් සභා මැතිවරණය තියන්න බෑ කියලා පසුගිය රජය කලේ තනිකරම ප්‍රෝඩාවක්. තිබුණ මැතිවරණය ක්‍රමය අහෝසි කළාට අලුත් නීතියක් හැදුවේ නෑ. ලෝක ඉතිහාසයේ පලමු වතාවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කල විෂයභාර ඇමතිවරයා තමන්ගේම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා. මැතිවරණ වලට මුහුණ දීමට ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසයි. ඔවුන් එහෙම කලේ නොයෙක් උප්පරවැට්ටි භාවිතා කරලා ඔවුන් මැතිවරණ කල් දැම්මා ඒකට උදව් කලේ TNA එක හා යහපාලන ආණ්ඩුවට තුනෙන් දෙකක් තිබුනේ නෑ. ඒ තුනෙන් දෙක ලබා දුන්නේ දෙමළ ජාතික සන්ධානයයි. ඔවුන් තිදෙනා ආසන 16 ක් යහපාලන ආණ්ඩුවේ දෙමළ ජාතික සන්ධානයේ මේ ක්‍රියා පිලිවෙල නිසයි මැතිවරණය කල් ගියේ.

ආණ්ඩුවට සිදුවෙලා තියෙනවා ඒ වරද හරිගස්සන්න. කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය දේශපාලන තීන්දුවක් ගත යුතුයි. කොයි ක්‍රමයටද පළාත් සභා පවත්වන්නේ කියලා ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ පණත සම්මත වුනාම රට පුරාම එකවර මැතිවරණය පවත්වන්න කටයුතු කරන්න පුලුවන්. 13 වන සංශෝධනය යටතේ හදුන්වාදුන් පළාත් සභා ක්‍රමය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්. පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යා යුතුද? නැද්ද යන්න සලකා බැලීම සදහා විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා ජනාධිපති නිතීඥ රොමේෂ්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්. ඒ කමිටුව වාර්තාවක් රජයට ඉදිරිපත් කළාම තීරණය ගන්න පුලුවන් අනාගතයේ පළාත් සභා ක්‍රමය අවශ්‍යද නැද්ද කියන එක. දැනට පළාත් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කොටසක්. ඒ නිසා පළාත් සභා නොපවත්වා සිටින්න බෑ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. පළාත් සභා අවශ්‍ය ද නැද්ද බලතල මොනවාද යන්න පිළිබදව තීරණයක් ගත හැක්කේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වන අවස්ථාවේදීයි.

අපි සමග සන්ධානගතව සිටින සියලුම දේශපාලන පක්ෂ සමග අපි ඉදිරියේදී පළාත් සභා සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අපි සිකුරාදා (03) සාකච්ඡාවක් ආරම්භ කළත් තීරණයකට එළඹියේ නෑ. අපේ අපේක්ෂාව හදපු සන්ධානය රැක ගැනීමයි ආණ්ඩුවක් හදන එකයි විතරක් නෙවේ. හදපු ආණ්ඩුව රැක ගන්නත් අවශ්‍යයි. සන්ධානයක් තුල ප්‍රශ්නඇතිවීම ස්වභාවිකයි. සන්ධානයක් කියන්නේ පක්ෂ කීහිපයකින් සැදුම්ලත් සංවිධානයක්. විටින් විට මතභේද ඇතිවෙනවා. ඒවා සුහදව නිරාකරණය කර ගෙන සන්ධානයේ ශක්තිය රැක ගැනීම තමයි අපේ අභිප්‍රාය වෙලා තියෙන්නේ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිතුමා බලයට පත්වෙලා මාස 14 ක් ගතවෙලා ආණ්ඩුව බලයට ඇවිත් මාස 08 යි. සමාජ මාධ්‍ය ඔස්සේ රටේ බොරු ප්‍රශ්න හුගක් යනවා. යම් යම් අය මුදලට රටේ ස්ථාවර භාවය නැති කරන්න මෙවැනි කුමන්ත්‍රණවල යෙදෙන බව අපි දන්නවා. මේ බොරු ප්‍රචාර වලට රටේ ජනතාව දැනුවත් කරන්න අපි කටයුතු කරනවා.

මේ කාලේ බඩු මිල ඉහල ගිහින් කියලා අපි පිලිගන්නවා. යහපාලන ආන්ඩුව මේ රටට කරපු විනාශය ප්‍රතිඵල තමයි ඔය. මේවා නිවැරදි කරන්න අපි කටයුතු කරමින් යනවා. ඒකට ටික කාලයක් ගතවේවි. අද දේශීය නිෂ්පාදනයට මුල්තැන දෙන ආර්ථිකයක් රට තුල නිර්මාණය කිරීමට ජනාධිපතිතුමා කටයුතු කරගෙන යනවා. මේ වසර අවසන් වීමට පෙර මේ රටේ බොහෝ ප්‍රශ්න වලට විසදුම් ලබා දීමට හැකිවේවි. ඒ සදහා අවශ්‍ය පසුබිම මේ වන විට අප සකස්කරමින් යනවා.