චීන එන්නත භාවිත නොකරනු..- විශේෂඥ කමිටුව රජයට දැනුම් දේ..

Covid-19 China Corona Vaccine
By Thaya Mar 22, 2021 05:07 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් වයිරසයට එරෙහිව චීනය නිපදවා ඇති එන්නතෙහි ප්‍රතිශක්තිකරණය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා චීනයේ එන්නත් නිෂ්පාදන ආයතනය ලබා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බවත් වැඩිදුර තොරතුරු ලැබෙන තුරු එන්නත භාවිත නොකරන ලෙසත් මෙම එන්නත පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දැනුම් දී තිබේ. අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ වෙත පසුගිය මාර්තු 17 වැනිදා අදාළ නිරීක්ෂණවල ප්‍රතිඵල සහිත වාර්තාවක් ඉදිරිපත් කරමින් විශේෂඥ කමිටුව මේ බව දැනුම්දී ඇත.

මෙම චීන එන්නත නිෂ්පාදනය කරන චීනයේ බීජිං ඉන්ස්ටිටියුට් ඔෆ් බයොලොජිකල් ප්‍රොඩක්ස් (Beijing Institute of Biological Products) සායනික දත්ත ලබාගැනීම සඳහා ප්‍රශ්න 11ක් යොමුකර ඇත. මෙම එන්නත මගින් ප්‍රතිදේහ නිර්මාණය කරන්නේ කෙසේද, පසුගිය ඔක්තෝබර් 31 වැනිදායින් අනතුරුව එන්නත පිළිබඳ සායනික දත්ත? එන්නතේ කර්යක්ෂමතාව තහවුරු කර ගැනීම සඳහා නිරීක්ෂණ කළ කාලසීමාව සහ වයස අවුරුදු 60ට ඉහළ වයස් කාණ්ඩය සඳහා එන්නතේ කාර්යක්ෂමතාව ඇතුළු මෙම ප්‍රශ්න 11න් ප්‍රශ්න 10කටම අදාළ නිෂ්පාදන ආයතනය පිළිතුරු ලබාදී නැත. එම නිසා එන්නත පිළිබඳ නිවැරැදිව තක්සේරු කිරීම සඳහා මෙම ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු ලබා ගැනීම වැදගත් බව ඖෂධ නියාමන අධිකාරිය පත් කළ කමිටුව විසින් මෙලෙස දැනුම් දී තිබේ.

මෙම අධ්‍යයන වාර්තාවට අදාළ කමිටුව නියෝජනය කරන වෛද්‍ය රජිව් ද සිල්වා, මහාචාර්ය නිලීකා මලවිගේ, මහාචාර්ය අරුණාසලම් පත්මේස්වරන්, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය කාන්ති නානායක්කාර, මහාචාර්ය චන්න රණසිංහ සහ වෛද්‍ය හසිත තිසේරා අත්සන් තබා ඇත.