"ඔලිම්පික් වලට දුවලා පදක්කමක් දිනනවා කිව්වම හැමෝම හිනා වුනා,පෝලියෝ හැදුනු මම දුවන්නෙ කොහොමද කියලා"
සඳුන් හර අතමිට මොළවා ගනිමින් උපදින වාසනාවන්තයා ඇත.පරණ රෙදි වැරසල්ලක් වත් අත මිට නොමොලවා උපදින්නන් ද එමට ය.සඳුන් හර අතින් ගෙන උපන්නවුන් අතින් පසු කලෙක එය ගිලිහී යා හැකි වුව ද, වැරහැලි වූ රෙදි කැබැල්ලක් වත් නොමැති වූ උපන්නෝ කීප දෙනෙක් හෝ තම ජීවිතයේ මැදියම හෝ පසු ය ම වන විට මිණිමුතු අභරණින් සිය ජීවිතය සලසා ගනිති.එහෙත් උපතේදි භෞතික අහිමිවීම් අබියස මිනිසකුට නැගී සිටිය හැකි ද?විල්මා එයට කදිම නිදර්ශකයෙකි.විල්මා උපන්නේ ඉපදීමට නියමිත කාලය සම්පූර්ණ වන්නට පෙර අඩු බරක් ඇති ව ය.එ හෙයින් කායික දුබලතා ඇයගේ ජන්ම දායාදයක් විය .ඒ දුබල බව නිසා ම ඇය කහ උණ නිව්මෝනියාව වැලඳී මාරාන්තිකව පීඩා වින්දාය.එහෙත් සුවය ලැබුවා ය. මේ කවරකටත් වඩා ඇයගේ දිවියට එල්ල වූ මරු පහර පෝලියෝ රෝගයයි.ඉන් ඇය දැඩි ලෙස ඔත්පල වූවාය.
"මේ රෝගය නිසා ඔයා කිසි දවසක පොළොවේ පයගහල ඇවිදින්න නම් හිතන්නවත් එපා"වෛද්‍යවරුන් කීවේ එසේ ය . " නැහැ මම කොහොම හරි නැගිටිනවා. නැගිටලා කොහොමහරි ඇවිදිනවා. ඇත්තටම මට එහෙම ඇවිදින්න පුළුවන් කියලා ලෝකයටම පෙන්නනවා." මෙසේ විල්මා සිතා ගත්තාය.ඒ ඈ කොයි තරම් කයින් දුබල වුවද මනසින් නම් සිටියේ නිරෝගි බවයේ උපරිමයෙන් නිසාය.කිහිලි කරුවක ට උරදුන් විල්මා නිවස ඉදිරිපිට ගේට්ටුව අසලට වී මහ මග යන එන අය දෙස බලා සිටියේ පුරුද්දටය."ඔයා ලොකු වෙලා මොනාද කරන්නේ "දන්න හඳුනන අය බිල් මගෙන් ඇසුවා ය."ඔලිම්පික් වලට දුවලා පදක්කමක් ගන්නවා"ඒ සැමට ඇය දුන්නේ මේ පිළිතුරයි.සැවොම උපහාසයෙන් සිනා සුනාය.දියණිය ලද උපහාසයක් අභිමුව මවගේ ළය කකියවන්නට විය."කවුරු මොනවා කිව්වත් දුවව මම කොහොම හරි ඇවිද්දනවා"ඒ අම්මගේ අහිංසක පැතුම වූවා ය.එහෙත් ළඟම පිහිටි රෝහලේ දොර කවුළු ඔවුනට විවර වු යේ නැත.එ, විල්මාගේ සම කළු වූ නිසා ය.කළු ජාතිකයින්ට වෙන්වූ රෝහලක් ගැන විල් මාගේ අම්මට ආරංචි විය.එයද ළඟපාතක නොම කිලෝමීටර් 80 එපිටින් වූවකි.දරුවකු වෙනුවෙන් මවකට කිලෝමීටර් ,සැතපුම් කොච්චර ප්‍රමාණයක් යාමට වුවද එය මහා දුරක් නොවේ.එහෙයින් ඇය විල්මා කැටි ව එහි ගියාය. නමුත් සුවයක් නම් අහලකටවත් නාවේය.ඒ වෙද්දි අට හැවිරිදි විල්මා හිතේ සවිය ගත ට දී ඇවිදින්නට පටන් ගත්තා ය.මෙම උත්සාහයෙන් ඇය කිහිප වරක් ඇද වැටී තුවාල ලැබුවා ය.එහෙත් උත්සාහය නම් අත් නොහැරියාය.යන්තම් ඇයට ඇවිද ගැනීමට පුළුවන් වෙද්දි ඇයට වුවමනා වූයේ දුවන්නට ය .ඇය සම වයසේ දරුවන් සමග දිව්වාය. කෙමෙන් ඔවුන් අභිබවා ද ගියාය.
ඉන් ඉක්බිතිව පැසිපන්දු ක්‍රීඩාවේ ශූරියක වූ ඇය තරග 25 කදී ලකුණු 834 ලැබූයේ ජනපද වාර්තාවක් ද පිහිටුවමිනි.ඇයගේ වේගවත් පා චලනයන් ගැන අවධානය යොමු කළ පැසිපන්දු පුහුණුකරු, ඇය කෙටිදුර ධාවන ට යොමු කරවීය."ඊළඟට මට ඕන වුණේ මල ක්‍රීඩිකාවක් වෙන්න ඒ නිකම්ම නිකම් මලල ක්‍රීඩිකාවක් නෙවෙයි ලෝකයම කතා කරන මලල ක්‍රීඩිකාවක් වෙන්නයි."ඒ ඇයගේ ආරම්භක අරමුණයි.සුළු කලකින් විල්මා උගත් පාසලේ සියලු කෙටි දුර ධාවන තරග වාර්තා වල උරුමකාරිය වූයේ ඇයයි.ඉන් පන්නරේ ලද ඇය පෙන්සිල්වේනියානු ජවන හා පිටිය තරගාවලියකට සහභාගි වී ඉසවු 9ක්ම ජය ලැබුවා ය.විල්මා ට තම ධාවන හැකියාවන් ලෝකය හමුවේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව මුල්වලට උදා වූයේ 1956 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වසන්ත ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියෙදී ය.එහි දී ඇය මීටර් 400 සහය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක ට හිමිකම් කීවාය.එකී ඔලිම්පික් තරගාවලියෙන් පදක්කමක් දිනාගත් ලාබාලතම ක්‍රීඩිකාව වූයේ ඇය වීමද විශේෂත්වයකි. එවිට ඇය 16 හැවිරිදිය
විල්මා සිතු ලෙසින් ම ඇය ලෝකයම කතා කරන ක්‍රීඩිකාව බවට පත් වූයේ 1960 දී රෝමයේ පැවැති ඔලිම්පික් තරගාවලියේ දී ය.එහිදී මීටර් 100 ධාවන තරගයෙන් රන් පදක්කම ද මීටර් 200 ධාවන තරගයේ රන් පදක්කම ද මීටර් 400 සහය දිවීමේ තරගයෙන් රන් පදක්කම ද දිනා ගත් ඈ මේ ලොව තුල ඇමරිකාවට අභිමානනීය ස්ථානයක් හිමි කර දුන්නාය.මෙය තනි ක්‍රීඩිකාවක් එක් තරගාවලියකදී ලද සුවිශේෂි ජයග්‍රහණයක් ලෙස ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ සනිටුහන් වේ. "මට වුවමනා වුණේ මම හිටපු ලෙඩ ඇඳේ ඉඳන් සෑහෙන දුරක් යන්න පුළුවන් බව ලෝකයට පෙන්වන්නයි,මොන තරම් ශාරීරික දුර්වලකම් තිබුණත් අපේ හිත ශක්තිමත් නම් අපට යන්න පුළුවන් දුර කෙළවරක් නෑ.ඒකට හොඳම උදාහරණය මමයි"ඒ විල්මාගේ ජයග්රාහි ගමනේ පසුබිම් කතාව ය.
විල්මා ක්‍රීඩාවෙන් උපයා ගත් ධනය යොදවා "විල්මා රුඩොල්ෆ් පදනම" පිහිටු වූවා ය.එයින් ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අතහිත ලැබිණි.ඒ හැරුණු විට නිජ බිම තුළ ඇය තවත් සමාජ සේවාවන් රැසකට මුල පිරුවාය.ඒ වෙනුවෙන් නිජබිම තුළ දී ඇය ලද ගරු සත්කාර අපමණ විය.වසර 2004 දී ඇමෙරිකානු රජය ඇය වෙනුවෙන් නිකුත් කළ තැපැල් මුද්දරය මින් එකකි.කොතෙක් ජය ලැබූවද ඇය පරාජය කළ එක් දෙයක් විය ඒ පිළිකාවයි.පිළිකා රෝගය හේතුවෙන් 1994 නොවැම්බර් 12 වැනි දින ඈ දිවියෙන් සමු ගත්තාය.එහෙත් ලෝකය බිල් මා හඳුනන්නේ සමාජ, සංස්කෘතික, භෞතික, බාධක කවරක් අභිමුව නොසැලෙන අධිෂ්ඨානයෙන් ජීවිතය දිනූ ශ්‍රේෂ්ඨ මානවිකාව ලෙසිනි. උපුටාගැනීම: නදුන් අමන්ද මනමේන්ද්‍ර-ආරච්චි සිළුමිණ .



