"රත්මලානේ ධර්මේ" සිර කඳවුරෙන් හොර රහසේ පළා යයි.

Prison
By Thaya Feb 03, 2021 01:48 PM GMT
Thaya

Thaya

Report

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ධර්මසිරි පෙරේරා නොහොත් ‘රත්මලානේ ධර්මේ’ හොර රහසේම පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් “දිවයින” පුවත්පත වාර්තාකර සිටිනවා.

ධර්මසිරි පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගත් පසු දින 14 ක් නිරෝධායනය සඳහා යොමුකර සිටි අතර එම කි‍්‍රයාවලියෙන් පසුව ඔහු හොර රහසේම පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයාගේ ප‍්‍රධානම සගයා බව කියන රත්මලානේ ධර්මේ මෙරට සිදුවූ අපරාධ රැසකට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මීට මාස කිහිපයකට පෙර පොලිස් ආරක්‍ෂාව දී තිබූ මොරටුව සොයිසාපුරදී අවන්හලකට වෙඩි තැබූ සිද්ධිය මෙහෙයවනු ලැබුවේ ද රත්මලානේ ධර්මේ නමැති මෙම පාතාල ප‍්‍රබලයා බව පොලිසිය පවසයි.

එහිදී මෙම පාතාල ප‍්‍රබලයා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පවා දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර තිබිණි.

ඩුබායිහි සැඟව සිටිමින් ධර්මසිරි පෙරේරා සහ ගොනාකෝවිලේ අංජු මෙරට හෙරොයින් ජාවාරම මෙහෙයවූ අතර මිනිස් ඝාතන ඇතුළු අපරාධ සිදුකළ බව පොලිසිය පවසයි.

ඩුබායිහි දී නීති විරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් ධර්මසිරි පෙරේරා එරට පොලිසිය මගින් අත්අඩංගවට ගත්තේ ඉකුත් වසරේදීය.

මෙම සැකකරු ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමට මෙරට පොලිසිය කටයුතු කරමින් සිටියද මොහු හොර රහසේම පලාගොස් ඇති බව වාර්තා වේ.