පරිසර ගැටලු සියල්ල යහ පාලනය මගින් නිර්මාණය කළ සිද්ධීන්..

Enviroment
By Thaya Mar 22, 2021 05:10 PM GMT
Thaya

Thaya

Report

වර්තමානයේ සිංහරාජය, හන්තාන හා මුතුරාජවෙල ප්‍රදේශවල ඇතිවී තිබෙන පරිසර ගැටලු සියල්ල යහ පාලන සමයේ නිර්මාණය වූ සිද්ධීන් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍ය වරයා මෙම අදහස් පළ කළේ (21) වත්තල නුගපේ බෝපිටිය මාර්ගය සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගී වු අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා ,"මුතුරාජවෙල අක්කර 700 ක් විනාශ කිරීම, හන්තාන පරිසර විනාශය හා සිංහරාජය ඇතුලු පාරිසරික ගැටලු සියල්ල නිර්මාණය වූයේ සමගි ජන බලවේගයට එහෙම නැතිනම් යහ පාලනයට උදව් කළ ව්‍යාපාරිකයින් හා හිතවාදීන් නිසා. මේ ගැටලු වලට අපේ රජයට ඇගිල්ල දික් කරන්න බැහැ. හැබැයි මුතුරාජවෙල වගේම හන්තාන හා සිංහරාජය ආරක්ෂා කිරීමට අපි කටයුතු කරනවා. රාජ්‍ය නොවන සංවිධාන ටිකක් එකතුවෙලා පරිසරය විනාශ කරනවා කියලා මතයක් ගොඩ නගන්න හදනවා. හැබැයි මේ පරිසර විනාශය කළේ කවුද ? යහ පාලන රජය. සිංහරාජයට, මුතුරාජවෙලට හෝ හන්තාන විනාශයට කිසිදු බලපත්‍රයක් අපේ රජය දීලා නැහැ. මේ සියල්ලේ ආරම්භ වුනේ යහ පාලන කාලයේ.

අද විපක්ෂයට රටේ සංවර්ධනය බලන් ඉන්න බැහැ. ඒ නිසා තමා මේ පරිසර ප්‍රශ්නයක් නිර්මාණය කරලා රට තුළ අසත්‍ය ප්‍රචාර නිර්මාණය කරමින් ඉන්නේ අපේ රජය පරිසරය විනාශ කරනවා කියලා. අපේ රජයට ගස් කපන්න කිසිදු උවමනාවක් නැහැ. අපි පාරක් හදනකොට මීටර් විසි පහෙන් විස පහ පැල සිටුවන්න කටයුතු කරනවා. පැලයක් සිටුවන්නෙ නැති ගස් කපපු මිනිස්සු සමාජ මාධ්‍ය වල දානවා පරිසරය රකින්න ඕනේ කියලා. අපේ රජය පරිසරය ආරක්ෂා කර ගනිමින් තමා සංවර්ධනය සිදු කරන්නේ. විහාරමහාදේවී උද්‍යානයේ චිත්‍ර අදින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු දාපු කෙනා. ඒක ගලවන්නේ සමගි ජන බලවේගයේ නගර සභාවෙන්. බනින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට. මේක තමා අද විපක්ෂයේ බංකොලොත්භාවය.

කොවිඩ් වසංගතය ආවාම ජනාධිපතිතුමා කීවේ ආර්ථිකය දියුණු කරන්න පුලුවන්. රටක් සංවර්ධනය කරන්න පුලුවන්. හැබැයි කොවිඩ් වලින් අපේ ජනතාව මැරෙන්නේ නැතිව ආරක්ෂා කර ගන්න එකට තමා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා. ඒ අනුව දියුණු හා සංවර්ධිත රටවල් වලට වඩා හොදින් අපි කොවිඩ් එක පාලනය කළා. කොවිඩ් පාලනය අතින් අපි දස වෙනි ස්ථානයේ සිටිනවා. එන්නත්කරණය අතින් අපි නව වෙනි තැන ඉන්නවා. ඒක තමා ඇත්ත තත්ත්වය.

හැබැයි විපක්ෂය මොකද කළේ. ජනතාවට එන්නත්කරණය කරන්න එන්නත් ගේන වැඩපිළිවෙලක් නැහැ කීවා. එන්නත් ගෙනාවම ගබඩා කරන්න වැඩපිළිවෙලක් නැහැ කීවා. ගබඩා කළාම ප්‍රවාහනයට වැඩපිළිවෙලක් නැහැ කීවා. එන්නත දෙන්න ගත්තාම අතුරු ආබාධ එනවා කීවා. ගේන්නේ නැතිව ඉන්නකොට ගේන්නේ නැහැ කියනවා. ගෙනාවම හොද නැහැ කියනවා. මේක මහ පුදුම විපක්ෂයක් බව" අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Gallery