සහරාන් ඇතුළු ත්‍රස්තයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට අනගිතම අවස්ථාව උදා කරදුන් අයුරු පාස්කු වාර්තාවේ සඳහන් වෙයි

Easter
By Thaya Feb 26, 2021 05:53 PM GMT
Thaya

Thaya

Report

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය වගකිව යුතු බව ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය වාර්තාව අවසානයේ විධායක සාරාංශයේ දක්වා තිබේ.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2015 - 2019 කාලවකවානුව තුළ මෙරට තුළ පැවති අකර්මන්‍ය වු රජය සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායාමට ප්‍රහාරයක් එල්ල කිරීමට අනගිතම අවස්ථාවක් උදාකර ඇති බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ 24 වන පරිච්ඡේදය වෙන්ව ඇත්තේ අකර්මන්‍ය වු රාජ්‍ය නැමැති ශිර්ෂය ඔස්සේ කරුණු සාකච්ඡා කිරීමටය.

එහි දැක්වෙන්නේ ඕනෑම රජයක් සෑමවිටම ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයෙහිලා සැලකිය යුතු වුවද, 2015 - 2019 කාලවකවානුව තුළ එවැනි තත්ත්වයක් රට තුළ නොපැවති බව කණගාටුවෙන් වුවද පැවසිය යුතු බවය.

මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් මෙම රජය පිහිටුවීමේදී හා පවත්වාගෙන යෑමේදි නිරූපනය කළ වැදගත් භූමිකාව හේතුවෙන් ඉස්ලාම් අන්තවාදී තර්ජනය කෙරෙහි රජයේ ප්‍රතිචාරය අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව තිබු බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් ය.

හිටපු හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ලබාදුන් සාක්ෂියක් දක්වමින් ජනාධිපති කොමිසම පෙන්වා දෙන්නේ, නැගෙනහිර පළාතේ හිස ඔසවමින් පැවති ඉස්ලාම් අන්තවාදය පිළිබඳ බුද්ධි අංශ ජාතික ආරක්ෂක කවුන්සිලයේ කරුණු දැක්වු අවස්ථාවක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‘නෑ නෑ එහෙම වෙන්න බැහැ’ යනුවෙන් පවසමින් රටතුළ අන්තවාදය වර්ධනය වෙමින් පැවති බව ප්‍රතික්ෂේප කර ඇති බවය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජනාධිපති කොමිසම වෙත ලබාදුන් සාක්ෂියක් උපුටා දක්වමින් ජනාධිපති කොමිසම පෙන්වා දී ඇත්තේ වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමෙන් පසු 2019 මාර්තු මස දිනක එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා සහ අධ්‍යක්ෂකව සිටි ශානි අබේසේකර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට දැනුම් දී තිබුණ ද, එහිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විශේෂිත මාර්ගෝපදේශයක් ලබාදී නොමැති බවය.

2018 ඔක්තෝම්බර් මස සිදුවු සිද්ධීන් හේතුවෙන් ජාතික ආරක්ෂාවට සිදුවු බලපෑම ඉතා බරපතළ බව සිය වාර්තාව තුළ පෙන්වාදෙන ජනාධිපති කොමිසම, එය කොතරම් බරපතළ වී ද යත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ජාතික ආරක්ෂක කවුන්සිලයක් කැඳවීමට අවශ්‍ය වු නමුත් එම රැස්වීමටද සහභාගී නොවන ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබු බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වේ.

එසේම ඉස්ලාම් අන්තවාදී තර්ජනය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් එකාබද්ධ ප්‍රවේශයක් නොමැතිවීම බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල කරතිබු අතර ඒ තුළ බුද්ධි අංශ අතර තරගයක් නිර්මාණයවීම හා ජාතික ආරක්ෂාව කෙරෙහි ද බරපතළ අහිතකර තත්ත්වයක් උද්ගත කරඇති බව ජනාධිපති කොමිසම පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අපරීක්ෂාකාරිව, අනතුරක් වළක්වා ගැනීම පිළිබඳ උනන්දුවකින් කටයුතු නොකිරීම මත මෙකි ඛේදනීය ප්‍රහාරය වළක්වා ගැනීමට තිබු අවස්ථා 08 ක් බලධාරින්, නීතිය ක්‍රියාත්මක කරන අංශ සහ සිවිල් වැසියන් දෙදෙනෙකුගෙන් ගිලිහිගොස් ඇති බවය.

එබැවින් මෙම කරුණු සලකාබැලීමේ දී අකර්මන්‍ය වු රජය, සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්තයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ලද අනගිතම අවස්ථාවක් බව ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිගමනය කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය සෘජුවම වගකිව යුතු බව ජනාධිපති කොමිසමේ විධායක සාරාංශයේ සඳහන් ය.

එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට රජය සහ එහි නිලධාරින් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතනයන් විසින් මෙතෙක් වාර්තාකරන ලද විශාලතම අත්වැරදීම බව ජනාධිපති කොමිසමේ නිගමනය වේ.

ඒ අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රතිපත්තියක් කෙටුම්පත්කර සම්මත කරගැනීමට යෝජනා කරඇති ජනාධිපති කොමිසම එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාමය ප්‍රතිපත්ති සැකසීමට ද යෝජනාකර තිබේ.