පාස්කු වාර්තාව මෙතෙක් ලැබී නෑ – ඉන්දු/ජපාන/අමෙරිකා ව්‍යාපෘති නතර කිරීම බරපතල වරදක්

Sri Lanka Easter
By Thaya Feb 25, 2021 06:16 PM GMT
Thaya

Thaya

Report

පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිෂන් වාර්තාවේ සමස්ත ලේඛනය මෙතෙක් එළි දක්වා නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් අවසන් ස්ථාවරයක් ප්‍රකාශයට පත් කල නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දැනට ප්‍රසිද්ධ වී ඇති කොටස්වලට අනුව එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් කිසිවෙකුට වරද පටවා නොමැති බවයි ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් අදාළ වාර්තාවේ දක්වා තිබුණේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ලිහිල් ප්‍රතිපත්තිය හමුවේ ආගමික අන්තවාදය වර්ධනය වූ බවයි.

එම චෝදනා බැහැර කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ තමන් අගමැතිවරයා ලෙස ආගමික අන්තවාදීන් මඩින්න උපදෙස් දී තිබූ බවයි.

නව ත්‍රස්ත මර්දන පණත කෙටුම්පත් කිරීම සිය රජය සමයේ ආරම්භ කර තිබූ බවද එක්සත් ජාතික පක්ෂ නායකයා කියාසිටියා.

මේ අතර ආගමික දේශපාලනීකරණය අත්හිටුවිය යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කලේ.

ඉන්දීය – ජපාන – අමෙරිකා ව්‍යාපෘති නතර කිරීමට වත්මන් රජය ගත් පියවර සම්බන්ධයෙන්ද හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් මෙහිදී විමසීමක් කෙරුණා.

එම තීරණය අනුමත කල නොහැකියි බරපතල වරදක් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලා.