පාස්කු ප්‍රහාරයේ සුලමුල දන්නා ප්‍රධාන මෙහෙයුම්කරු කෝ ?
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුවූ දිනයේදීම එහි ප්‍රධාන මෙහෙයුම්කරු ලෙස බුද්ධි අංශ විසින් පළමුවෙන්ම හඳුනාගනු ලැබුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම් ය.
කාන්තන්කුඩියේ උපත ලැබු සහරාන් වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය, මාවනැල්ල බුද්ධ ප්‍රතිමාවලට හානිකිරීම, තස්ලීන් ඝාතන තැත සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම යන සිද්ධිවලට සම්බන්ධ යැයි ඒ වනවිටත් බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබූ බව පසුව හෙළිවී තිබුණි. නමුත් ඔහු මිනිස් ජීවිත රැසක් බිලිගන්නා තුරුම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ අපොහොසත් වූයේ ඇයි ද යන්න සැබැවින්ම ගැටලුවකි.
මෙවැනි ප්‍රහාරයකට යම්කිසි කණ්ඩායමක් සූදානම් වන බවට ඉන්දීය බුද්ධි අංශ නිකුත්කර තිබූ අනතුරු ඇඟවීම් මෙරට ආරක්ෂක බලධාරීන් නොතැකූ බව එවක ආරක්ෂක ලේකම්වරයා ප්‍රහාරයෙන් පසුව මාධ්‍යයට සිදුකළ ප්‍රකාශයෙන්ද මනාව පැහැදිලි විය. එවක සේනාධිනායකයා, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වගකීම් දැරූ හිටපු විධායක ජනාධිපතිවරයා ප්‍රහාරය සිදුවන අවස්ථාවේ විදෙස්ගතව සිටි අතර ප්‍රහාරයේ වගකීම පිළිබඳ විමසූවිට ඔහු දැක්වූ ප්‍රතිචාර සමාජයේ දැඩි කතාබහක් මතු කළේය. ප්‍රහාරයේ සුලමුල සෙවීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ආරක්ෂක ප්‍රධානීන් පිළිතුරු දුන් ආකාරය ද එවක ඔවුන්ගේ පැවති වගකීම් විරහිතභාවය මනාව පෙන්නුම් කරන සාධකයක් විය.
අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 සැප්තැම්බර් 21 පාස්කු ප්‍රහාරය විමර්ශනයට පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ අතර එම කොමිසම එහි අවසන් වාර්තාව ඉකුත් පෙබරවාරි පළමුවැනිදා වත්මන් ජනපතිවරයා වෙත භාරදුනි. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ තමන් සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බැවින් ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත්වීමක් නොතිබු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසම හමුවේ සාක්ෂි දී තිබුණ ද ප්‍රහාරය වූ දින උදෑසන 7.59 ට හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා හිටපු ජනපතිට ගත් ඇමතුමකට මිනිත්තු 2 ක කාලයක් සම්බන්ධ වී සිට ඇතැයි අනාවරණය වී තිබුණි.
ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව මෙම වසරේ පෙබරවාරි මස 01 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් අතර එහි මුලික නිගමනය වී තිබුනේ 2019 වසරේ අප්‍රේල් 21වන දින දිවයිනේ ස්ථාන 08 ක සිදුවු ත්‍රස්ත ප්‍රහාර මාලාව ස්වයං අභිප්‍රේරක ඉස්ලාම් අන්තවාදින් කණ්ඩායමක ප්‍රහාරයක් බවය.
පාස්කු දින බෝම්බ පිපිරීම් 8 ස්වයං අභිප්‍රේරක ඉස්ලාම් අන්තවාදින් කණ්ඩායමක සැලැස්මක් බව එහි මූලික නිගමනය වී තිබූ අතර සහරාන්, රිල්වාන්, ෂයිනි, ඉන්ෂාෆ්, ඉල්හාම්, ජමිල්, හස්තුන්, මුවාත්, අසාද්, මුබාරක්, නවුෆර්, මිල්හාන් සහ සාදික් යන ත්‍රස්තවාදින් ඊට සෘජුව වගකිවයුත්තන් ලෙස නම්කර තිබේ. එමෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සෘජුව වගකිවයුතු බවට වාර්තාවේ විධායක සාරාංශයේ සඳහන්ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම කෙරෙහි සලකාබලන ලෙස කොමිසම් වාර්තාවෙන් නිර්දේශකර ඇත.
එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකු සම්බන්ධයෙන් වාසියක් ලබාගැනීමට උත්සහ කිරීමට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට එරෙහිවත් අපරාධ චෝදනා ගොනුකරන ලෙස වාර්තාවේ සඳහන් වේ. කෙසේවෙතත් විමර්ශනවල අනාවරණ හෙළි කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අප්‍රේල් 6 වැනිදා ප්‍රකාශ කළේ, දැනට අත්අඩංගුවේ සිටින නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස හඳුනාගෙන ඇති බවය. අනතුරුව කොමිසමේ නිර්දේශ අනුව යමින් අයි.එස්. සහ අල් - කයිඩා යන සංවිධාන ද ඇතුළුව අන්තවාදි ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමටද රජය පසුගියදා පියවර ගත්තේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මස 26වනදා ත්‍රස්තවාදීන්ගේ ඥාතීන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පුපුරුවා ගත් සායින්දමරුදු ආරක්ෂක නිවස එලෙස අවධානයට යොමු විය. එදින සිදුවුණ යම් අබිරහස්මය සිදුවීමක් ප්‍රහාරයට වසර 02ක් ගතවන මේ මොහොත වනවිට, ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට බරපතළ ලෙස බලපෑම් එල්ලකර තිබේ. ඒ 2019 අප්‍රේල් 26වනදා අවසන් මොහොත දක්වා මේ නිවසේ රැඳී සිටි කටුවාපිටිය ප්‍රහාරක හස්තුන්ගේ බිරිඳ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සරා ජෙස්මින් මෙම නිවසේදී මියගියා ද? නැද්ද? කියන කරුණ ය.
සාරා ජෙස්මින් මියගියේද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ බව පෙන්වාදෙන ජනාධිපති කොමිසම පවසන්නේ, 2019 අප්‍රේල් 26 සායින්දමරුදුහි සිදුවූ පිපිරීමෙන් පසු හමූවු මළසිරුර කොටස් ජීවතුන් අතර සිටින සාරාගේ මව සමග DNA විශ්ලේෂණයකට යොමුකළ බවය. එහිදී සාරාගේ මවගේ DNA සයින්දමර්දු නිවසේදී මියගිය කිසිදු පුද්ගලයෙකුගේ ශරීර කොටස් සමඟ නොගැලපීම තුළ සාරා මියගියේ යැයි තහවුරු නොවන බව කොමිසම සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
එමෙන්ම සාරා ජීවතුන් අතර සිටින බවට සාක්ෂිකරුවන් දෙදෙනෙකු කොමිසම හමුවේ සාක්ෂි දුන් බවත් එම වාර්තාවේ සඳහන්ය. එහි පළමු සාක්ෂිය, සායින්දමරුදු පිපිරීමෙන් දිවි ගලවාගත් සහරාන් හෂීම්ගේ බිරිඳ, හාදියා එම පිපිරීමෙන් පසුවද තමන් සාරාව දුටු බවට දී තිබූ රහසිගත සාක්ෂිය වෙයි. ඒ පිළිබඳ නිරත වූ ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී 'අද දෙරණ'ට එම රහසිගත සාක්ෂිය සොයාගත හැකි වුණි. සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා,
"ගැහැණු තුන්දෙනා ගියාට පස්සේ ආයෙත් පල්ලියේ දෙන්නෙකුයි, සී.අයි.ඩී. දෙන්නෙකුයි ආවා කියලා නියාස් ඇවිත් කිව්වා. රිල්වාන් ඊට පස්සේ කෑ ගහලා කිව්වා එකෙක්වත් ඇතුළට එන්න එපා කියලා. සහරාන්ගේ අම්මා රුපියල් ලක්ෂ 50ක් තියෙන බන්ඩල් දෙකයි, තව පොඩි පොඩි බන්ඩල් සහ රත්‍රං බඩු පෙට්ටි අරගෙන ගේට්ටුව පැත්තට යනවා මම දැක්කා. ඊට පස්සේ බඩු අතේ නැතුව සහරාන්ගේ අම්මා ආපසු එනවා දැක්කා. පස්සේ එයාලා, කියන්න ගත්තා අපි දෙවියෝ ගාවට යන්න හදන්නේ කියලා විඩියෝ එකක් කළා. මම දුව අරගෙන වොෂ්රූම් එකට ගියා. වොෂ්රූම් එකේ විනාඩි 15ක් වගේ හිටියා. දුව බාත් රූම් එකේ සෙල්ලම් කරකර ඉන්නකොට දුවගේ ඇඳුම් තෙමුණා. මම දුව එක්කරගෙන කාමරයට ආවා. එතකොට සාලේ හිටපු සාරා මට කිව්වා ළමයත් අරගෙන එන්න අපි ඔක්කොම ස්වර්ගයට යමු කියලා. ඒ වෙනකොට රිල්වාන් බඩ හරියෙන් බෝම්බයක් බැඳගෙන ඉන්නවා දැක්කා. ආෆ්රින් සාරාට සහ ෆෙරෝසාට බෝම්බ ගැට ගැහුවා. රිල්වාන් කියනවා ඇහුණා හැමෝටම ස්විච් එක ලැස්ති කරලා තියාගන්න කියලා. සාරා හිටියේ මට වඩා අඩි හතරක් විතර ඉස්සරහට වෙන්න. ඒත් එක්කම එළියෙන් වෙඩි තියෙන සද්දයක් ඇහුණා. ඒ එක්කම ලොකු පිපිරීමක් වුණා. මම දන්නේ නැහැ මට මොනවා වුණාද කියලා. ගින්දර රස්නයක් දැනෙන කොට මට සිහිය ආවා. දුව මගේ ළඟට ඇවිත් අයියා අයියා කියලා කෑ ගැහුවා. දොර ළග මූණ බිමට හිටින්න පුතා වැටිලා හිටියා මම දැක්කා. එයා ඔළුව දෙපාරක් විතර උස්සනවා. ටික වෙලාවකින් මම හිටිය කාමරයේ දොර ඉස්සරහින් ගෑනු කෙනෙක් හිටගෙන හිටියා. එයාගේ ඇඳුම් ටිකක් පිච්චිලා තිබුණා. කව්ද ඉන්නේ කියලා දෙමළෙන් ඇහුවා. ඊට පස්සේ විනාඩි 05 කින් විතර ඒ ගෑනු කෙනා දැක්කේ නැහැ. පෙනුමෙන් ඒ ගෑනු කෙනා උස මහතයි. රිල්වාන්ගේ බිරිඳ කෙට්ටුයි. සාරාගෙයි නෆ්නාගෙයි, අෆ්රින්ගෙයි කටහඩ එක වගේ මම හිතන්නේ ඒ සාරා."
සායින්දමරුදු පිපිරීමෙන් මාස 5කට පසුවත් තමන් සාරාව දුටු බවට ඇයව කුඩා කළ සිට දැන හැඳිනගෙන සිටි පුද්ගලයෙකු ජනාධිපති කොමිසමට සාක්ෂි ලබා දී තිබුණි. ප්‍රහාරයෙන් පසු එම වසරේ සැප්තැම්බර් මාසයේ දිනක අලුයම 3.15 ට පමණ මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තේතාතිව් ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි අතුරු පාරක් වන බිච් රෝඩ් සිට සාරා ජෙස්මින් තවත් දෙදෙනෙකු සමඟ ප්‍රධාන මාර්ගයට පිවිසෙනු දුටු බවත්, ඇය බටර් පැහැති පිකප් රථයකට නැගී මඩකලපුව දෙසට ගමන් ගත් බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්ය.
සාක්ෂිකරු කොමිසමට පවසා ඇත්තේ එම අවස්ථාවේ සාරා සමඟ සිටි පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙකු වන්නේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කලවන්චිකුඩි පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අබුබකර් නම් පොලිස් නිලධාරියා බවය. කෙසේවෙතත් මෙම පොලිස් නිලධාරියාව පසුගිය වසරේ ජනවාරි මාසයේදි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහුව මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැත.
ප්‍රහාරයේ නායකයා සහරාන් හෂීම් බවට ආරම්භයේදී ප්‍රකාශ වුවත් එවැනි පුද්ගලයෙකු සිය දිවි හානිකරනේ දැයි බොහෝ දෙනකුගේ ප්‍රධාන තර්කයක් බවට පත්වුණි. එවන් පසුබිමක විදෙස් මැදිහත්වීම් යටතේ ප්‍රධාන වශයෙන් අවධානය යොමුව ඇති පුද්ගලයෙකු ගැන ජනාධිපති කොමිසමේ 17 වෙන පරිච්ඡේදයේ සඳහන්කර තිබේ. ඔහු අබුහින්ද් නැමැත්තෙකි. කොමිසමේ උපකල්පනය වී තිබුණේ, අබුහින්ද් මගින් ඉන්දීය ප්‍රාන්ත බුද්ධි සේවය ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ තොරතුරු ලබාගෙන ඇති බවය.
අනන්‍යතාවය හෙළි නොකළ ත්‍රස්තවාදය පිළිබඳ ජත්‍යන්තර විශේෂඥයෙකු කොමිසමට ප්‍රකාශකර තිබුණේ, අබු හින්ද් යනු ඉන්දීය ප්‍රාන්ත බුද්ධි අංශය නිර්මාණය කළ චරිතයක් බවය. අබු හින්ද් සමඟ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තයින් 2017 වසරේ අගභාගයේ සිට සම්බන්ධකම් පැවැත්වු බව සහරාන්ගේ බිරිඳ හාදියාගේ සාක්ෂිය තුළ පෙනීයන බවද ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ දක්වා තිබේ.
මේ අතර විමර්ශන සිදුකළ බුද්ධි අංශ නිලධාරින්ට ලද විඩියෝවක් හේතුවෙන් සාරා ජෙස්මින් සහ අබු හින්ද් අතර සම්බන්ධයක් පැවතියේද යන්නත් මේ වනවිට ප්‍රශ්නගතව තිබේ. 2016 වර්ෂයේදි සිය මව සමඟ ඩුබායි රාජ්‍යයේ සිටින අවස්ථාවක සාරා ජෙස්මින් සිය උපන්දිනය සමරා ඇති අතර එම උපන්දින සාදයට පැමිණ සිටින මෙකී පුද්ගලයා දකුණු ඉන්දීය තවුහිද් ජමාත් ක්‍රියාකාරුවෙකු බව මේ වනවිට හඳුනාගෙන තිබීම ඊට හේතුවය.
කෙසේනමුත් ප්‍රහාරයට වසර 02 ක් ගතවන මේ මොහොත වනවිටත් සරා ජෙස්මින් ජීවත්ව සිටිනවා ද? නැද්ද? කියන කරුණත් මේ ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු පෙර දැනසිටි අබු හින්ද්ගේ අනන්‍යතාවයත් නිශ්චිත වශයෙන් තහවුරු කරගැනීමට විමර්ශකයින්ට හැකිව නොමැත.
ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ නිර්දේශකර ඇත්තේ පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය යටපත් නොවිමටනම් අබු හින්ද් සහ සාරා ජෙස්මින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීම අනිවාර්ය බවය.