යුද හමුදාව ලයිසන් එකෙන් කෝටි 21ක් ඉතිරි කර දෙයි

south africa driving license sri lanka army department of motor traffic
By Sewvandhi May 13, 2021 12:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රියදුරු බලපත‍්‍ර මුද්‍රණය යුද හමුදාවට ලබාදීමෙන් මාස හතරට කෝටි විසිඑකක් රජයට ඉතිරි වී ඇති බව යුද හමුදාව පවසයි. 2021 ජනවාරි මස 01 වැනිදා සිට පසුගිය අපේ‍්‍රල් 15 වැනිදා දක්වා යුද හමුදාව විසින් රියැදුරු බලපත‍්‍ර දෙලක්ෂ දහනව දහස් අසූ දෙකක් මුද්‍රණය කර ඇත.

ඒ අනුව ගතවූ කාලයේ පමණක් රුපියල් විසිඑක් කෝටි අනූලක්ෂ අසූදෙදහසකට ආසන්න මුදලක් රජයට ඉතිරි වී ඇති බව යුද හමුදාව කියයි. එසේම රියැදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ශ‍්‍රී ලංකා යුද හමුදාවෙන් ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව රියැදුරු බලපත‍්‍රයට නව විශේෂාංග කිහිපයක් එක් කිරීමටත් යුද්ධ හමුදාව කටයුතු කරමින් සිටින බව යුද හමුදාව කියයි.

ඒ අනුව වර්තමානයේ භාවිතයට ගැනෙන ‘චිපයක්’ සහිත රියැදුරු බලපත‍්‍රය වෙනුවට කේතයක් සහිත රියැදුරු බලපත‍්‍රයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය. රියැදුරු බලපත‍්‍ර ආශ‍්‍රිතව සිදුකරනු ලබන අක‍්‍රමිකතා රැුසක් වළක්වා ගැනීම එහි අරමුණ වී ඇත.

එසේම නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලට සිය රාජකාරි කටයුතුවල දී පහසුවක් සැපයීම මෙම කේත ක‍්‍රමය හඳුන්වා දීමේ තවත් අරමුණ වී ඇත. එසේම මේ වන විට රියැදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීමට භාවිත කරන මෘදුකාංගය දකුණු අප‍්‍රිකානු සමාගමක් මගින් සංවර්ධනය කළ මෘදුකාංගයක් වන අතර ඊට වාර්ෂිකව අති විශාල මුදලක් වැය කිරීමට ද සිදුවන බව පැවසෙයි.

එබැවින් ඉදිරියේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් මේ සඳහා උචිත මෘදුකාංගයක් සංවර්ධනය කිරීමට නියමිතව ඇත. මේ වෙනුවෙන්ම යුද්ධ හමුදාවෙන් යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානය (Army Information Technology Solutions Center – AITSC) පිහිටුවා ඇති අතර මෙම ආයතනය විසින් රියැදුරු බලපත‍්‍ර ලබාදීමට අදාළ වාර්තා මිලියන 90ක් නඩත්තු කරනු ලැබේ.

2020 ජුලි මස 01 වැනිදා ගන්නා ලද කැබිනට් තීරණයට අනුව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශ‍්‍රී ලංකා රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ ක‍්‍රියාවලිය 2021 ජනවාරි මස 1 වැනිදා සිට ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත පවරා දෙනු ලැබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now