ඩොලරයේ අගය තවත් ඉහලට...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (25) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 194.19 ක් ලෙසින් සටහන්ව ඇති අතර විකුණුම් මිල සටහන්ව ඇත්තේ රු. 199.65 ක් ලෙසයි.
කෙසේ වෙතත් මුදල් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ වාණිජ බැංකු විසින් ඩොලර් අලෙවි කරන මිල රු. 200 සීමාව ඉක්මවා ඇති බවයි.
ඒ බව සනාථ කරමින් ලංකා බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 194.25 ක් හා විකුණුම් මිල රු. 201.28 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර එම සටහනට අනුව ආනයන සඳහා ඩොලර් අලෙවි කරන මිල දැක්වෙන්නේ රු. 202.14 ක් වශයෙනි. මහජන බැංකුවට අනුව ආනයන බිල්පත් වෙනුවෙන් ඩොලර් අලෙවි කරන මිල රු. 203.38 ක් ලෙසින් වාර්තා වේ.
මේ අතර පසුගිය (19) දා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා කියා සිටියේ ආනයන සඳහා ඇති ඉහළ ඩොලර් ඉල්ලුම හමුවේ මෙලෙස ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති බවයි.
