රන්ජන් රාමණායකගේ මන්ත්‍රී ධුරය ගැන තීරණයක් නොගන්න : අභියාචනාධිකරණය දැනුම් දෙයි

Parliament Ranjan Ramanayake
By Thaya Feb 11, 2021 02:31 PM GMT
Thaya

Thaya

Report

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මාර්තු මස 16 වැනිදා වන තෙක් කිසිදු පියවරක් නොගෙන දැනට පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙස අභියාචනාධිකරණය අද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කරනු ලැබුවා. ඒ අනුව කලින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර සිටියා. සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගොනු කල රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදි.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා. රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.සුමන්දිරන් පවසා සිටියේ මේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අසනීප තත්ත්වයකින් පසුවන නිසා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි. පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම මාර්තු මස 16වැනිදා සිදු කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබුවා. මිනීමැරුම් චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (c) වගන්තිය අනූව පාර්ලිමේන්තු සැසිවාර සදහා යෑමට පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර ලබා දුන් බව රංජන් රාමනායක සිය පෙත්සමෙන් අවධාරණය කර සිටියි.