නිරෝධායන නීති අස්සේ රාත්‍රී සාද මත් කර 44 හැවිරිදි කාන්තාව

ajith rohana heroine shavendra silva quarantine rules mahava police
By Sewvandhi May 15, 2021 01:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මේ දක්වා නිරෝධායන රීති කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 9,282කි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද දිනයේදීත් ජනතාව නිවෙස්වලටම වී රැඳී සිටිය යුතු බවය.

රෝහලකට යෑම හැරුණුකොට අද දිනයේත් හෙට දිනයේත් හැඳුනුම්පතේ අංක භාවිත කරමින් පිටතට පැමිණීමට හැකියාවක් නොමැති බවද අජිත් රෝහණ මහතා පැවසීය. මේ අතර නිරෝධායන රීති ක්‍රියාත්මක වන කාලසීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කළ කාන්තාවක් මහව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය විසින් රාත්‍රී සාද පවත්වන පුද්ගලයින්ට මෙලෙස මත්පැන් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. 44 හැවිරිදි එම කාන්තාව සන්තකයේ තිබී මත්පැන් බෝතල් 38ක් සහ බියර් බෝතල් 98ක් සොයාගෙන තිබේ.

මේ අතර අනුරාධපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4ක් සමග 22 හැවිරිදි පුද්ගලයෙකුව ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සතුව හෙරොයින් ග්‍රෑම් 40ක් තිබී බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ සොයාගෙන තිබුණි.

ඔහු 21 හැවිරිදි රැඳවියෙකු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now