උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්
නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ බදුල්ල - කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බවයි.
ඒ, උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර අතර දුම්රිය මාර්ගයට අද (29) විශාල ගල්පර්වත කඩා වැටීම හේතුවෙනි.
බදුල්ල හාලිඇල ප්‍රදේශ වලට ඊයේ (28) පස්වරුවේ පතිත වූ ධාරාණිපාත වර්ශාවත් සමග මෙසේ අලුයම දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ මේ නිසාවෙන් බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (29) අලුයම 5.45 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1016 දරණ උඩරට මැණිකේ දුම්රිය දැනට හාලිඇල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවයි.