"මාස 2ක ඉන්ධන තොගයක් ගැන අපි කිව්වේ නෑ" – CPC සභාපති ජනක රාජකරුණා
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සභාපති ජනක රාජකරුණා මහතා 2025 ජූලි 01 වන දින මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ, මීට පෙර බලශක්ති අමාත්‍යවරයා ඇතුළු ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් විසින් මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන ගබඩා කර ඇති බවට කළ ප්‍රකාශයන් ඇතැම්විට වැරදි ලෙස වටහා ගෙන ඇති බවයි.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය විසින් මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන ඇණවුම් කර සහතික කර ඇති බවටත්, ඒ ඇනවුම් දෙසැම්බර් මාසය දක්වා වලංගු බවටත් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් මීට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. එහෙත්, මෙම ඉන්ධන ගබඩාවල ටැංකිවල ගබඩා කර ඇති බවක් එම ප්‍රකාශවලින් තහවුරු නොකළ බව රාජකරුණා මහතා පැහැදිලි කළේය.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් මහජනතාව හා මාධ්‍ය අතර ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු විය. එනම්, ඉන්ධන මාස දෙකකට ප්‍රමාණවත් ලෙස ඇණවුම් කර ගබඩා කර ඇත්නම්, හදිසියේ ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව කුමක්ද යන්නයි. මෙම ප්‍රශ්න මාධ්‍ය විසින් දිගින් දිගටම ඛනිජ තෙල් සංස්ථාවෙන් විමසීමත් සමඟ, එම ප්‍රකාශවල තිබූ අපැහැදිලි බව පිළිබඳව සාකච්ඡාවක් ඇති විය.
මෙම තත්ත්වයට පැහැදිලි කිරීමක් ලබා දෙමින්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා මාධ්‍ය හමුවේදී පැවසුවේ, “අපි ප්‍රකාශ කළේ මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන ඇණවුම් කර සහතික කර ඇති බව පමණයි. එම ඉන්ධන ගොඩබා ටැංකිවල ගබඩා කර ඇති බවක් අපි කිව්වේ නැහැ. එම අවස්ථාවේදී, යම් ඉන්ධන ප්‍රමාණයක් ටැංකිවල ගබඩාවල තිබුණා, තවත් ප්‍රමාණයක් ගොඩ බාමින් තිබුණා, තවත් ප්‍රමාණයක් මුහුදේ පිටත්ව එමින් තිබුණා. ඒ අනුව, මාස දෙකක් යන තුරු රටේ ඉන්ධන හිඟයක් ඇති නොවන බව අපි පැවසුවා.”
ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ, ඉන්ධන මිල තීරණය ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිදු වන බවයි. “ගොඩබාන අවස්ථාවේ ලෝක වෙළඳපොළේ පවතින මිල ගණන් අනුව ඊළඟ මාසයේ ඉන්ධන මිල තීරණය වෙනවා. ඒ නිසා, මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන ගබඩා කර තිබුණා යැයි පැවසීමෙන් එයින් තේරුම් නොගත යුතුයි,” යැයි රාජකරුණා මහතා සඳහන් කළේය.
එමෙන්ම, ඉන්ධන මිල තීරණය කිරීමේදී ඛනිජ තෙල් සංස්ථාවට සම්බන්ධ වෙනත් සමාගම් කිහිපයක බලපෑමද සැලකිල්ලට ගන්නා බවත්, එම සියලු සාධක සමතුලිතව සලකා බලමින් මිල තීරණය කරන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
මෙම පැහැදිලි කිරීම ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් මහජනතාව අතර ඇතිව තිබූ අපැහැදිලි තත්ත්වයන් නිවැරදි කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
