එන්නත් අවභාවිතයට සම්බන්ධ පිරිස් ගැන හෙළිදරව්වක්

covid19 galle vaccination AstraZeneca unavatuna
By Sewvandhi Jun 18, 2021 11:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාල්ලේ සිදු වූ අයථා එන්නත්කරණ වැඩසටහනට විපක්ෂයේ දේශපාලඥයින්ගේ සමීපතමයින් පිරිසක් සම්බන්ධ වී ඇතැයි තොරතුරු ලැබුණු බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පවසා සිටියේ, එන්නත්කරණ පිළිබඳ ව ජනතා විශ්වාසය බිඳදැමීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් එය සිදුකර ඇතැයි තොරතුරු ලැබී ඇති බවය.

උනවටුණේ පැවති එම එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයට කරුණු යොමුකර ඇති බව ද චන්න ජයසුමන මහතා කියාසිටියේය. උනවටුණේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයන්ට කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමේ සිද්ධිය රට හමුවේ පළමුවරට අනාවරණ කළේ පසුගිය 7 වැනිදාය.

 අනාවරණයෙන් දින දෙකකට පසුව ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශීය වසංගත රෝග අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරුවලින් ඉවත් කෙරුණේ මූලික පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙනි. මේ අතර, ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා සිද්ධියට අදාළව පසුගිය 14 වන දා නියෝග කර සිටියේ, පසුගිය 5 වැනිදා සහ 7 වැනිදා අදාළ කාර්යාලයෙන් එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනයක්, එන්නත් ලබාදුන් කාර්යාලයේ සී.සී.ටී.වී. දර්ශන සහ විමර්ශනයට අදාළව දුරකථන දත්ත ලබාදෙන ලෙසය.

අදාළ නියෝග ලබාදුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුවය.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාදුන් පිරිසට දෙවන මාත්‍රාව ලෙස විශේෂඥ කමිටුවේ අනුමැතිය යටතේ ෆයිසර් එන්නත ලබාදීමට සූදානම් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ජූනි මාසයේ දෙවැනි සතියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ම නොලැබෙන්නේ නම් ඒ සඳහා ෆයිසර් එන්නත වුවත් යොදා ගැනීමට හැකි බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now