එන්නත් දෙකම ගත්තු වැඩි දෙනකුට කොරෝනා

vaccination covid 19 c shell sinophorm immunization
By Sewvandhi May 13, 2021 09:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ, කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අයගෙන් තුනෙන් එකකට, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ගැන කනස්සල්ලෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සීෂෙල්ස් වැසියන්ගෙන් සියයට 57 කට චීනයේ 'සයිනෝෆාම්' එන්නතේ මාත්‍රා දෙකම ලබා දී අවසන් වන අතර, සියයට 43 කට ලබා දී ඇත්තේ 'ඇස්ට්‍රාසෙනකා' එන්නතය. මෙම එන්නත් දෙකම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කර තිබේ.

ප්‍රතිශතයක් වශයෙන් 'සයිනෝෆාම්' සහ 'ඇස්ට්‍රාසෙනකා' එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සියයට 37 ක පිරිසකට 'කොවිඩ් 19' ආසාදනය වී ඇති බව සීෂෙල්ස් සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය අප්‍රේල් 30 වැනිදා එන්නත් දෙකම ලබා ගත් 120 දෙනකු ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනු අතර, මැයි 8 වෙද්දී, ආසාදිතයන් ගණන 314 තෙක් ඉහළ ගියේය. එන්නත්කරණය සහ ආසාදිතයන් වාර්තා වීම සම්බන්ධයෙන් සියලු දත්ත, තම සෞඛ්‍ය බලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇති බව සීෂෙල්ස් රජය පවසා තිබේ.

'කොරෝනා වයිරසය ආසාදනය වළක්වා ගැනීමටයි එන්නත්කරණය සිදුවෙන්නේ. එක් මාත්‍රාවක් පමණක් ලබා ගෙන සිටිද්දී, වයිරසය ආසාදනය වීමට ඉඩ තිබෙනවා. එසේ වුවහොත් වයිරසය නිසා සංකූලතා හට ගන්නේ නැහැ. කෙසේ නමුත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසු වයිරසය ආසාදනය වීම අඩු විය යුතුයි. එක් කෙනකුට හෝ දෙන්නකුට හෝ වයිරසය ආසාදනය විය හැකියි. ඒත් පොදුවේ බහුතරයකට වයිරසය ආසාදනය වෙන්න බැහැ. එසේ වුවහොත් එය ගැටලුවක්.'

යැයි සීෂෙල්ස් රාජ්‍යය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. සීෂෙල්ස් යනු ඉන්දීය සාගරයේ පිහිටි කුඩා දූපත් 115 කින් සමන්විත දූපත් රාජ්‍යයකි. 2019 ලෝක බැංකු වාර්තා අනුව, සීෂෙල්ස් හි ජනගහනය 97,625 කි. 'සීෂෙල්ස්' දූපත් රාජ්‍යයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූ ගණන 8,200 කි.

මරණ වාර්තා වන්නේ 28 ක් ලෙසය. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 5,658 කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව, 'සයිනෝෆාම්' එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමෙන් පසු දෙවැනි මාත්‍රාව ලබා දිය යුත්තේ දින 21 කිනි.

දෙවැනි මාත්‍රාව ලබාගෙන දින 14 ක් යද්දී, සිරුරේ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙයි. 'සීෂෙල්ස්' රාජ්‍යය ඔවුන්ට ලැබුණු 'සයිනෝෆාම්' එන්නත් 'සීෂෙල්ස්' වැසියන්ට ලබා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දීමට මාස කීපයකට පෙර සිටය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ 'කොවැක්ස්' වැඩසටහනට ද 'සයිනෝෆාම්' එන්නත් ඇතුළත් කර තිබෙන අතර, ඒවා දිළිඳු රටවලට ලබා දීම සිදුවෙයි.

වික්ටෝරියාහිදීය (රොයිටර්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now