ශ්‍රී ලංකාවේ ඩෙල්ටා අවධානම ඉහළට...ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් අනතුරු අඟවයි...

Covid Sri Lanka Delta
By Aruna Jul 25, 2021 06:44 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි මාසය තුළ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ ඉහල අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ වෙනත් රටවල ව්‍යාප්ත වීම සහ එය වැළඳීමේ ඉහළ හැකියාව සැලකිල්ලට ගනිමින් විශේෂඥයින් මෙම නිගමනයට එළඹ ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.

රට තුළ COVID-19 එන්නත ලබා දීම සතුටුදායක මට්ටමක පවතින බව පෙන්වා දුන් වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් ඇති අඩුපාඩු පිළිබඳව අවධාරණය කළේය.

මේ අතර ලොවපුරා කොවිඩ් රෝගීන්ගේ පැතිරීම ඉදිරියේදී තවත් වේගවත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර තිබේ.

එයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ පැතිරීම වේගවත් කරන ඩෙල්ටා ප්‍රභේදයයි.

මේ වනවිට ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 19 කෝටි 43 ලක්ෂය ඉක්මවා ඇති අතර නොබෝ දිනකින් එය කෝටි 20 ඉක්මවා යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මේ වනවිට ලොව රටවල් හා පාලන කලාප 124කට ව්‍යාප්ත වී ඇති ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය, ඉදිරි මාස කිහිපයේදී ගෝලීයව ව්‍යාප්ත වන ප්‍රධානතම වෛරස ප්‍රභේදය බවට පත්වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ඒ අනුව සති කිහිපයක් වැනි කෙටි කාලයක් තුළදී ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි විස්ස ඉක්මවා යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කර තිබේ.

නව ආසාදිතයන්ගේ කැපීපෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති කලාප වන්නේ යුරෝපය සහ බටහිර පැසිෆික් කලාපයයි.

ආසාදිතයන් ඉහළ ගියද දෛනික මරණ සංඛ්‍යාව අඩු අගයක පවතින බැවින් ඇතැම් යුරෝපා රටවල් සංචරණ සීමා ලිහිල් කර තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් කොවිඩ් මර්දන එන්නත්කරණය මන්දගාමී රටවල් ඉදිරියේදී මාරාන්තික වසංගත තත්ත්වයකට මුහුණදෙනු ඇති බවය.

මේ අතර කලින් සැලසුම් කර තිබූ පරිදි ඔලිම්පික් ගම්මානයේ සිටින ක්‍රීඩකයින් දෛනිකව කොවිඩ් පරීක්ෂණවලට බඳුන් කිරීමට නොහැකි වී ඇති බව ජපාන පුවත් සේවා අනාවරණ කර තිබේ.

ප්‍රමාණවත් තරම් පරීක්ෂණ කට්ටල නොමැතිවීම ඊට හේතුවය. මොඩර්නා සමාගම විසින් නිෂ්පාදිත ස්පයික් වැක්ස් කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 12 ත් 17ත් අතර ළමයින්ට ලබාදීම සඳහා යුරෝපා සංගමයේ ඖෂධ පාලකයන් අනුමැතිය ලබාදී තිබේ.

එම වයස් කාණ්ඩයේ ළමුන් 3,700ක් යොදාගෙන සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵල මත එම අනුමැතිය ලබාදී ඇති බව සඳහන්ය.

මේ අතර මාරාන්තික කොවිඩ් දෙවන රැල්ල සමග හිස එසවූ කළු දිලීර වසංගතය ඉන්දියාව තවත් දරුණු ඛේදවාචකයකට ඇද දමා තිබේ.

මාර්තු මාසයේ සිට මේ දක්වා ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති කළු දිලීර හෙවත් මියුකෝමයිකෝසිස් ආසාදිතයන් සංඛ්‍යාව 45,000කට අධිකය.

කළු දිලීර ආසාදිතයන්ගෙන් 85% ක් පමණ කොවිඩ් වෛරසයට ගොදුරුවී සිටි අය බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.

දිලීර ආසාදනවලින් ඉන්දියාවේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 4,300 ඉක්මවන බවද සඳහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now