හුදෙකලා කළ පෙදෙසකින් නව ආසාදිතයින් 100ක් හමුවෙයි.

Covid Corona Kurunagala
By Aruna Apr 22, 2021 07:35 AM GMT
Aruna

Aruna

Report

හුදෙකලා කරන ලද කුරුණෑගල, තිත්තවැල්ගාල ප්‍රදේශයේ සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණ 700ක් අතුරින් 500 ප්‍රතිඵල ලැබී තිබේ.

ඒ අනුව ඉන් 100 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වී ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගැනිමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයින්ට සහ දෙවන පෙළ ආශ්‍රිතයින්ට සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වී තිබේ. අද දිනයේ හිරිපිටිය ප්‍රදේශයේ 100 දෙනෙකු පී.සී.ආර් පරික්ෂණයට භාජනය කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳහන් කළේය.

තිත්තවැල්ගාල ප්‍රදේශයේ පුද්ගලයින් 1,320 දෙනෙකුට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු තිත්තවැල්ගාල මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා සඳහන් කර සිටියේ, ආසාදිතයින්ට අවශ්‍ය පහසුකම් මේ මොහොතේ උපරිමයෙන් ලබාදෙමින් සිටින බවය.

“සමහර පුද්ගලයින් මේ ප්‍රදේශයෙන් හොරෙන් එළියට ගිහින් නිරෝගි පුද්ගලයින් සමග කටයුතු කරන්න පටන් අරන් තියෙනවා. මේක පොලීසියට විතරක් තනියම කරන්න බෑ විශාල ප්‍රදේශයක් ආවරණය කරන එක.

මම බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අවශ්‍ය පහසුකම් සියල්ල සපයනවා. ඒ නිසා ප්‍රදේශයෙන් බැහැරට නොගොස් රෝගයෙන් ආරක්ෂා වෙන්න උදව් කරන්න.“