තවත් ප්‍රදේශයකින් කොවිඩ් පොකුරක්

Corona virus Covid pations sri lanka helth ari lanka covid 19
By Sithumi May 16, 2021 11:30 AM GMT
Sithumi

Sithumi

Report

රත්නපුර මහනගර සභා සීමාවේ අංගම්මන ප්‍රදේශයේ ඉකුත් 9 වනදා සිට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 60 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව රත්නපුර මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. ආර්. ටී. ආර් උපසේන මහතා පැවසීය. පසුගිය 8වනදා සිට එම ප්‍රදේශයේ කොටසකට සංචරණ සීමා පැනවීමට ද පියවර ගෙන තිබුණි.

ඒ අනුව සිදුකර තිබූ PCR පරීක්ෂණ 147කින් ඊයේ ලැබී තිබූ ප්‍රතිඵල මත 38 දෙනෙකු ආසාදිත බවට තහවුරු වී තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් මෙම ප්‍රදේශයේ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙන බවට අනුමාන කරන බවය.

මෙම ගම්මානයෙන් රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇත්තේ අප්‍රේල් මස 30 වනදා පැවැති මංගල උත්සවයකින් අනතුරුවය. මේ අතර කහවත්ත අම්බලන්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ ඊයේ මියගිය පුද්ගලයෙකුට කොවිඩ් වැළඳී තිබූ බවට තහවුරුවීමෙන් පසු එම ප්‍රදේශයේ නිවාස 12ක් නිරෝධායනයට යොමුකර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 130 දෙනෙකුට මේ වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. තවත් සේවකයින් 670 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේවෙතත් සියලුම ඩිපෝවල කටයුතු තවදුරටත් බාධාවකින් තොරව සිදුවන බව සභාපතිවරයා පවසයි. මේඅතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලේදී භික්ෂූන් වහන්සේලාට ද ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි පවසති. ධම්මානන්ද හිමියන් පෙන්වා දෙන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශය මැදිහත් වී ඒ සඳහා අවශය කටයුතු කළ යුතු බවය.

මහනුවර දී අද (16) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව පෙන්වා දුන්හ. විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමුව ඇති බවට දැනගන්නට ලැබී ඇති බවද ධම්මානන්ද හිමි පවසති.