ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසකට කොවිඩ්

Bandarawela sri lanka police adams peak
By Sithumi May 03, 2021 03:15 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී පාද වන්දනාවේ ගිය බණ්ඩාරවෙල බැද්දේවෙල ප්‍රදේශයේ පුද්ගලයින් 18 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. වන්දනා නඩයක සිටි 21 දෙනෙකුගෙන් 18 දෙනෙකුට එලෙස වෛරසය ආසාදනය වී ඇති අතර සිදුකළ පි.සි.ආර් පරික්ෂණ වලදි එම ආසාදිතයින්ගේ පවුල්වල සමාජිකයින් 27 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඒ බව ඇල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජි. එන්. පතිරණ මහතා තහවුරු කළේය.

මේ අතර, කොවිඩ් ආසාදිත පුද්ගලයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීම අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු උපුල් රෝහණ මහතා මෙසේ සඳහන් කළේය.

නව කොවිඩ් -19 ප්‍රභේදය සමග නිවෙස් තුළ රෝගීන් තියනවා ට වඩා කුමන හෝ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ තැබීම ඉතාමත් යෝග්‍යයි. අපිට පැහැදිලිව ම පේන්න තියෙනවා ඈත දුර බැහැර ප්‍රදේශවල නිවෙස් තුළ ඉන්න රෝගීන් රෝහල් ගත කිරීමට අවශ්‍ය වුණොත් හදිසි අවස්ථාවක දී ඉතාමත් ගැටලුකාරී තත්ත්ව පැන නගිනවා. ඒ නිසා තාවකාලික මධ්‍යස්ථාන හෝ රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකරලා එවැනි ගෙනයෑමක් සිදුකළහොත් ඉදිරියේ දී මරණ අඩු කරගැනීමට සහ රෝගයේ තීව්‍ර වීම අඩු කර ගැනීමට භාවිත කරන්න පුළුවන්

.“ මේ අතර කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් නිවෙස්වල රඳවා සිටින ජනතාවට ඒ බව කොවිඩ් -19 පැතිරීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථානයට දැනුම්දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, එවැනි ආසාදිත පුද්ගලයින් ට 1906 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ බව අදාළ අංශ වෙත දැනුම් දිය හැකි බවය. ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරිම් කටයුතු ආරම්භකර තිබේ.

වැරැල්ලවත්ත ප්‍රදේශයේ වසාදමා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක් මෙලෙස කොවිඩ් ප්‍රතිකාර මාධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කෙරෙන අතර එහි ඉදිකිරිම් කටයුතු සඳහා රුපියල් මිලියන 10ක මුදලක් වැයකිරිමට නියමිත බව වාර්තා වේ.

හදිසි ප්‍රතිකාර ඇතුළු සියලු පහසුකම් සහිත එම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 2,000කින් සමන්විත වන අතර එහි ඉදිකිරිම් කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි. රෝහල් සදහා වෛද්‍යවරුන් 40 දෙනෙකු හෙද හෙදියන් 50 දෙනෙකු සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සාමාජිකයින් 55 දෙනෙකු පමණ අනුයුක්ත කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.