කර්මාන්තශාලා දෙකකින් ආසාදිතයන් 600 ක්

covid 19 sri lanka covid Covid garmemt Bandaragama
By Sithumi May 20, 2021 02:17 PM GMT
Sithumi

Sithumi

Report

තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකකින් කොවිඩ් ආසාදිතයින් 617 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඒ අතර පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 467 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත.

ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 2,000 පිරිසක් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය. තවත් දහසකගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක 150 දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය. මේ අතර තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක 400 පිරිසක් කොවිඩ් ආසාදිතයින් බවට පත්වීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

ඔහු පවසන්නේ අදාළ ආයතනය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළේ ද යන්න පිළිබඳව ද එහිදී අවධානය යොමු කරන බවය. කොවිඩ් ආසාදිත සහ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති සේවක සේවිකාවන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් ද අවදානය යොමු වී ඇති බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. මේ අතර මාවනැල්ල පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 162 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් ස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කළ බව කෑගල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now