අවුරුදු සමයේ කොවිඩ් බෝවන තැනට කටයුතු සිදුවී ඇතැයි සෞඛ්‍ය අංශවලින් චෝදනාවක්

Covid srilanka newyear helth seson
By Sewvandhi Apr 17, 2021 04:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකළ බව සෞඛ්‍ය අංශ පවසති. මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්ය එස්.එම්. ආර්නල්ඩ් මහතා සඳහන් කළේ, “උත්සව සමය ගතකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් නිකුත් කළා. කියන්න කණගාටුයි, අපි නිරීක්ෂණය කළ කරුණු අනුව ඇතැම් පිරිසක් මෙම රෝගය බෝවන තැනට කටයුතු කරන බව අපිට පෙනී ගියා. මෙයින් සිදුවන්නේ ඉදිරියේදී වේගයෙන් කොවිඩ් රට තුළ ව්‍යාප්තවීමේ හැකියාවක් ඇතිවීමයි. තත්ත්වය එලෙස දිගින් දිගටම ගියොත් අපිට නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කරන්න වෙනවා.” මේ අතර කොවිඩ් මර්දනය සඳහා අහඹු පරීක්ෂා කිරීම් සිදුනොකර එන්නත මත පමණක්ව සිට රජය කටයුතු කරන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට ජනතාවල ලබාදී ඇති එන්නත්වල සාර්ථකත්වය පරීක්ෂා කිරීමට ද නිසි වැඩපිළිවෙලක් නොමැති බවය. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යවරිය අද (17) ප්‍රකාශ කළේ මෙරට කොවිඩ් -19 මර්දනය සඳහා රජය සහ සෞඛ්‍ය අංශ සාර්ථක වැඩපිළිවෙලක් ගෙනයන බවය. “කොවිඩ් මර්දනය කිරීමේ වැඩපිළිවෙල අපි සාර්ථකව කරගෙන යනවා. ලෝකයේ වෙනත් රටවලට වඩා අපේ රට ඒ සාර්ථකත්වය පෙන්වා තිබෙනවා,” යැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය