කැස්බෑවේ ආසාදිතයින් තවත් ඉහලට සුපිරි වෙළඳසැල් 2කුත් වැසේ

infections supermarket kesbewa pcr report samanthika wijesundara
By Sewvandhi Apr 24, 2021 02:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ පුද්ගලයන් 112 දෙනෙකු සඳහා සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ආසාදිතයන් 65 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

ඒ අනුව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් දින 5ක් තුළ සිදුකළ PCR පරීක්ෂණ 164 කින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 97කි. ඒ අතර රජයේ සුපිරි වෙළෙඳසැළක රෝගීන් දෙදෙනකු ද පෞද්ගලික සුපිරි වෙළෙඳසැළක රෝගීන් 8 දෙනෙකු ද වාර්තා වී තිබේ.

එම සුපිරි වෙළෙඳසැළ් 2 වසාදමා ඇති අතර වාර්තා වූ රෝගීන් 97 දෙනාට සම්බන්ධ ආශ්‍රිතයින් 300 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. මෙම ආශ්‍රිතයින් ලබන අඟහරුවාදා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

මේ අතර ඉදිරි දිනවල කොවිඩ් ව්‍යාප්තිය වැඩිවිය හැකි බවත් බොහෝ දෙනෙක් ඊට ගොදුරු වී මිය යෑමෙන් බේරගැනීමට ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වුවහොත් විශාල ඛේදවාචකයකට පත් වියහැකි බවය.

"යුරෝපයේ පැතිරී ගිය වෛරසයට වඩා ඉතාමත් සීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිර යෑම ආරම්භ වී තිබෙනවා. එය ඉතාම භයානක තත්ත්වයක්. මේ තත්ත්වය දිගින් දිගටම සිදු වුවහොත් මෙය රෝහල්වලට දරාගත නොහැකි තත්වයකට පත් වෙනවා. එහෙම වුවහොත් එය සමාජගතවීමක් හැටියට සැලකීමටත් ඉඩ තිබෙනවා. අපේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් අපි ලොකුම ඛේදවාචකයකට පත් වනවා. විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනා නැවතත් දින 14 නිරෝධායනය අනිවාර්ය කළා. සති අන්තයේ නිවාඩු ගත කිරීම සඳහා යෑම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුයි. දැන් තිබෙන වර්තමාන වෛරස් තත්ත්වය අනුව පොදු ප්‍රවාහන සේවයේ යෑමේදී දැඩි ප්‍රවේශම්කාරීව ගමන් කළ යුතුයි."