රජ්‍ය ආයතන කිහිපයක කොවිඩ් ආසාදිතයින්

municipal council upul rohana bandara wela buttala
By Sewvandhi May 06, 2021 10:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකාව වසා දමා තිබේ. ඒ එහි නිලධාරීන් දෙදෙනෙක් ආසාදිතයින් බවට තහවුරුවීමත් සමගය.

එමෙන්ම ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල පරිශ්‍රයේ පිහිටි තවත් ආයතන 2ක් ද වසා දැමුණේ එහි නිලධාරීන් දෙදෙනෙකුට වෛරසය ආසාදනයවීම හේතුවෙනි.

මීට අමතරව බණ්ඩාරවෙල තේ මණ්ඩල කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකුට සහ සාමාන්‍ය සේවකයෙකුට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් අද (06) සහ හෙට (07) දෙදින තුළ එම කාර්යාලය වසා දැමීමට තීරණය විය.

මේ අතර රාජ්‍ය ආයතන, විශ්ව විද්‍යාල සහ පෞද්ගලික ආයතනවල කොවිඩ් මාර්ගෝපදේශ රෙගුලාසි උල්ලංඝනය කරමින් විවිධ උත්සව සංවිධානය කරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

දිනෙන් දින වැඩිවන කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල නව ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කෙරෙමින් පවතී. ඒ අනුව මැදගම ප්‍රාදේශීය රෝහල ද කොවිඩ් ප්‍රතිකාර සඳහා පමණක් වෙන් කර තිබේ.

එමෙන්ම බුත්තල ප්‍රාදේශීය රෝහල සහ වැල්ලවාය යොවුන් සේනාංක මධ්‍යස්ථානයත් විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කෙරෙමින් පවතී. මෙම කොවිඩ් රෝහල් 3 සඳහා මොණරාගල ව්‍යාපාරික ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් රෙදි සෝදන යන්ත්‍ර 16 ක් පරිත්‍යාග කිරීම ඊයේ සිදුකෙරුණි.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නත මෙරට ජනතාවට ලබාදීම අද (06) ආරම්භ කෙරුණි. ඒ, ගොතටුව ප්‍රදේශයේදීය. රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නතේ පළමු තොගය පසුගිය 04 වනදා මෙරටට රැගෙන එනු ලැබීය.

එම එන්නත් තොගය මාත්‍රා 15,000 කින් සමන්විතය. ඒ අනුව ගොතටුව ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්ට එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද සිදුකෙරුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now