කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහලට ප්‍රදේශ රැසකින් කොවිඩ් පොකුරු

pcr covid 19 maharagama piliyandala pamunuwa
By Sewvandhi Apr 20, 2021 09:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබිම නිසා විශාල කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මේ අතර යළිත් ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

පසුගිය දිනවන කොවිඩ් රෝගීන්ගේ යම් අඩුවීමක් තිබු නමුත් නැවත රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් වැඩි වී ඇති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර මහතා,

“ඉතාම ප්‍රවේශම්කාරී විය යුතු තත්ත්වයක්. රෝගය ව්‍යාප්තවීම ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවෙන විට අපි නොදැනුවත්ම විශාල පොකුරු ඇති වෙන්න පුළුවන්. මේක ඉතාම භයානක තත්ත්වයක්. එහෙම වුණොත් අපිට නැවත වතාවක් රට තුළ සංචරණ සීමා ඇති කිරීම හා දරුවන්ගේ අධ්‍යාපනයට සීමා පැනවීම මෙන්ම විශ්වවිද්‍යාල විවෘත කිරීමට නියමිතයි අප්‍රේල් 27 වන දා , නමුත් ඒවට සීමා ඇති කරන්න සිදුවේවි. ඒ නිසා ඒවා වළක්වා ගැනීමට ජනතාවගේ සහයෝගය ඉතා අවශ්‍යයි.“

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ සිදු කරන ලද PCR පරීක්ෂණ 130කින්ය. පිළියන්දල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාර්ක් ද සිල්වා මහතා සඳහන් කළේ, අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවය. මොවුන් ඇරවුවල, රත්මල්දෙණිය, ගොරකපිටිය හා බෝකුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ අතර මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් - 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අතරින් එක් ආසාදිතයෙක් අප්‍රේල් මස 11 වැනිදා හඳුනා ගෙන ඇති අතර සෙසු පුද්ගලයින් එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් වේ. මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

මේ අතර, නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ඉන්දියානු ජාතිකයින් හෝ වෙනත් සංක්‍රමණිකයින් මාර්ගයෙන් කොවිඩ් -19 වෛරසය මෙරට තුළ පැතිරීම වැළැක්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිත අවදානම් යැයි හඳුනාගත් රෝහල් සහ ගම්මානවල පුද්ගලයින් අහඹු පී.සී.ආර් පරීක්ෂණ වෙත යොමුකිරීමට කටයුතු කරමින් සිටින බවය.