සිංගප්පූරුව සිය ආරක්ෂණ ක්‍රියාමාර්ග තරකරයි…! ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 04කට සංචාරක තහනමක්…!

By Wasantha May 01, 2021 06:04 AM GMT
Wasantha

Wasantha

Report

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින්ට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත.

සිංගප්පූරුවේ කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30) මෙම තහනම පනවා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන්ට මේ අනුව හෙට (02) සිට සිංගප්පූරුව වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල සංක්‍රාන්ති (transit) සඳහා දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

සිංගප්පූරු බලධාරීන්ගෙන් පූර්ව පිවිසුම් අනුමැතිය ලබා ගත් අයට ද එය අදාළ වන බව එරට රජය කියා සිටී.

මේ අතර බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කර දැනට සිංගප්පූරුවට පැමිණ ඇති අය හට දින 14 ක නිරෝධායන කාලයක් අනිවාර්යය කර තිබූ අතර මෙය තවත් දින 7 කින් දීර්ඝ කරනු ලබන බව සිංගප්පූරු කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටී.