මේ රෝග ලක්ෂණ තිබේනම් භයානක තත්ත්වයක්...නැතිනම් දැඩි සත්කාර ඒකකයට යන්න වෙයි.

Covid Colombo Doctor prasanna gunasekars
By Aruna Apr 24, 2021 05:52 AM GMT
Aruna

Aruna

Report

මෙරට තුල පැතිරෙන බවට විශ්වාස කරන නව කොවිඩ් ප්‍රභේදයේ විශේෂ රෝග ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබෙන බව ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කර සිටිනවා.

ඒ මිට පෙර කොවිඩ් වෛරසය ව්‍යාප්තියේදී ආසාදිතයින්ගෙන් වාර්තා වූ උගුරේ වේදනාවට පෙර නව ප්‍රභේදය හේතුවෙන් රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇතිවන බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මේ හේතුව නිසා රෝගීන්ට ශ්වසන අපහසුකම් ඇතිවී රෝගී තත්ත්වය උත්සන්න වන තෙක් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් නොදැනුවත්ව සිටින බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ හේතුව නිසා ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බවත් රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසු ප්‍රතිකාර කිරීම අපහසු බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඉදිරි දින කිහිපය තුලදී ඇති දීර්ඝ සති අන්තයේදී සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම සම්බන්ධයෙන් වඩාත් වැදගත් බව පෙන්වා දී සිටියා.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ යම් කිසි කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගනු ලැබූ පුද්ගලයෙකු සිටින පවුලේ සාමාජිකයෙකු වේවා, එසේත් නොමැතිව ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයක ජිවත්වන පුද්ගලයෙකු නම් ඔබ සතු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බව අවධාරණය කර සිටිනවා.

යම් අයුරින් හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබෙනවානම්, 1 සිට 10 දක්වා ගණන් කරන කාල සීමාව දක්වා එක දිගට හුස්ම රඳවා ගෙන සිටීමේ අපහසුකම් තිබෙනවානම්.

කතා කරනා විට හතියක් එනවානම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම සිදුකළ යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.

මන්ද මුලික අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් පැතීම මගින් රෝගය උත්සන්න වී දැඩි සත්කාර ඒකකයට යාමට තිබෙන ඉඩකඩ අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත් යම් හෙයකින් රෝගය උත්සන්න වන තෙක් සිටීම මගින් ප්‍රතිකාරයක් පවා ලබා ගැනීමට නොහැකි තැනට පත්විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අවධාරණය කර සිටියේ.